- නිවාස දීම එක් පියවරක් බව අගමැති කියයි
- ඉන්දියාව කළ විශාලම ආධාර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට නිවාස දීමේ වැඩසටහනයි; ඉන්දියානු මහ කොමසාරිස්
කඳුකරයේ ද්‍රවිඩ ජනතාවට ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ සියලු වරප්‍රසාද හිමි විය යුතු බවත් මේ අංගසම්පූර්ණ නිවාස ලබාදීම එම වරප්‍රසාද ලබාදීමේ එක් පියවරක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
වතුකරයේ දමිළ ජනතාව ජාතික නිවාස ව්‍යාපෘති සඳහා සහභාගී කරගත් පළමු රජය වන්නේ 2015 බිහි වූ යහපාලන රජය බව වික්‍රමසිංහ මහතා එහි දී පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ පසුගිය දා (24) ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය එක්ව බොගවන්තලාව, බ්‍රිඩ්වෙල් වතුයායේ ඉදිකරන ලද නිවාස 155 කින් යුතු නව ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මේ නිවාස ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 175ක් වේ. පර්චස් 07 බැගින් වූ නිවාස 155හේ ඉඩම් ඔප්පු ඉන්දියානු මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා විසින් කඳුකරයේ ජනතාවට ලබාදෙන ලදි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ වික්‍රමසිංහ මහතා,
මම එදා කිවුවා මට වතුකරයේ ජනතාවට අරක්කු බෝතල් දීලා මැතිවරණ ජයග්‍රහණය කරන්න වුවමනාවක් නෑ කියලා. අපි අරක්කු වෙනුවට අංගසම්පූර්ණ නිවාස ලබා දී තිබෙනවා. කඳුකරයේ ද්‍රවිඩ ජනතාවට ශ්‍රී ලාංකීක පුරවැසිකමේ සම්පූර්ණ බුක්තිය තිබෙනවා. ඒක නමට සීමා කරන්න බෑ. ඒක නාම පුවරුවක් විතරක් කරන්න බෑ.
වතුකරයේ ජනතාවට අධ්‍යාපනය, සෞඛ්‍ය, උසාවියට යන්න අයිතිය තිබිය යුතුයි, රැකියා තිබිය යුතුයි. මේ හැමදේකටම වඩා අපේ සිංහල ජනතාවට තිබෙනවා වගේ නීත්‍යානුකූල ඉඩම් සහ ගම්මාන තිබිය යුතුයි.
මම අධ්‍යාපන ඇමැතිවරයාව ඉද්දි මෙහේ තිබුණේ වතු පාසල්, බෙහෙත් ගත්තේ වතු ඩිස්පෙන්සරි එකෙන්, ගෙවල් නෑ ලයින් කාමර තිබුණේ, මුදල් ඉල්ලුවේ ලයින් කාමර හදන්න. ඔක්කොමලා වැඩකළේ වත්තේ විතරයි, ප්‍රාදේශීය සභා තිබුණේ නෑ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිබුණේ නෑ. නියම පුරවැසිභාවය ලබන්න නම් ඒ සියලු පහසුකම් තිබිය යුතුයි. මම අග්‍රාමාත්‍ය තනතුරේ වැඩ භාරගද්දි මේ බව ප්‍රකාශ කළා. ඒවා ක්‍රියාත්මක කරන්න තරම් කාලසීමාවක් තිබුණේ නෑ. වෙනත් අය එය ක්‍රියාත්මක කළේ නෑ. වතුකරයේ ජනතාව කොන් කරලා තිබුණේ. වත්මන් ආණ්ඩුව විසින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දී තිබෙනවා.
අද ඉන්දියානු රජය යටතේ වෙලයන්පුර ගම්මානයේ පර්චස් 07 බැගින් වූ ඉඩම්වල නිවාස 155ක් බොගවන්තලාවට ලබා දී තිබෙනවා. ඒ සඳහා මම ඉන්දියානු ආණ්ඩුවට ස්තූතිවන්ත වනවා. පාරවල්, වතුර, යටිතල පහසුකම් ලංකා ආණ්ඩුවෙන් ලබා දී තිබෙනවා. ඒ සියලු දෙනාටම මම ස්තූතිවන්ත වනවා. මේක ඔබේ ගම. පරම්පරාවට ජීවත්වෙන්න පුළුවන් ලෙස ගමක් නිර්මාණය කර දී තිබෙනවා. පසු කාලෙක මේ ගෙවල් ඉවත්කර තට්ටු දෙකේ ගෙවල් හදාන්න පුළුවන්. එහෙම තමයි ගම්මාන දියුණු වෙන්නේ.
මම පසුගිය දා ආණමඩුවට ගියා. මම 1978 ආණමඩුවට යනකොට සෑම ගෙදරකම වහලය තිබුණේ පොල් අතු සෙවිලි කරලයි. දැන් තට්ටු දෙකේ, තුනේ ගෙවල් තිබෙනවා. ඒක ආරම්භයක්. තමන්ට ගෙයක් තිබෙනවා ඒ ගැන ආඩම්බර වෙන්න. කඳුකරයේ බොහෝ ජනතාව ගෙවල් බලාපොරොත්තු වනවා. ඒ අයටත් අපි හැකි ඉක්මනින් නිවාස ලබාදෙන්න බලාපොරොත්තු වනවා. මේ වැඩසටහන කරන්න ආධාර ලබාදුන් ඉන්දීය අගමැති මෝදි මහතාට මම විශේෂ ස්තූතිය පුද කරනවා. මේ බොගවන්තලාවට පැමිණීමෙන් පසු එතුමා කඳුකරයේ ජනතාවට නිවාස 15000ක් ඉදිකර දෙන බවට පොරොන්දු වුණා.
මෙයට අමතරව දකුණේ තවත් නිවාස 1200ක් ලබාදෙනවා. දැනට නිවාස 4000ක් පමණ ඉදිකරගෙන යනවා. මේ වසරේ ජූනි වන විට එම නිවාසවල වැඩ අවසන් වනවා. මේ වසරේ මැද දී වතුකරයේ තව නිවාස 5000ක් ලබාදෙනවා. 2020 ජනවාරියේ තව 5000ක් ලබාදෙනවා. දැනට ආණ්ඩුවෙන් මේ වසරේ 5000ක් හදමින් සිටිනවා. ඒවා මේ වසරේ ජනතාවට ලැබෙනවා. වත්මන් ආණ්ඩුවෙන් නිවාස 25000ක් හදලා තිබෙනවා. ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කර තවත් නිවාස හැදීමට බලාපොරොත්තු වනවා. පළමු වතාවට වතුකරය ජාතික නිවාස වැඩසටහනට ඇතුළත් කර තිබෙන්නේ. ශ්‍රී ලංකා ආණ්ඩුව හා ඉන්දියානු ආණ්ඩුව උතුරු, නැඟෙනහිර යළි පදිංචි කිරීමේ නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඊළඟ වටයේ නිවාස 40000ක් හදන්න තිබෙනවා. ඊළඟට අපේ නිවාස අමාත්‍යාංශයෙන් ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රමය ගෙනයනවා. මධ්‍යම පන්තියේ ජනතාවට තට්ටු නිවාස මිල දී ගැනීමට ණය ලබාදෙනවා. කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස ලබාදෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව එම නිවාස වැඩසටහන්වල ඉන්නවා. නමුත් පළමු වතාවට කඳුකරයේ දෙමළ ජනතාව ජාතික නිවාස වැඩසටහන්වලට එක්කර ගැනීම පිළිබඳ මම සතුටු වෙනවා.
ඉස්සර රටට ගෙවල් හදනකොට වතුකරයට ලයින් කාමර හදන්නේ. දැන් කඳුකරයේ ජනතාවටත් අපි ලයින් කාමර වෙනුවට නිවාස ලබාදෙනවා. දැන් වතුකරයේ ජනතාව වත්තට හිරවෙන්නේ නෑ. නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. මේ සඳහා පසුගිය දා වතු ගම්මාන අධිකාරිය දිගම්බරම් ඇමැතිවරයා මැදිහත්වී පිහිටෙවුවා. එය අපි පාර්ලිමේන්තුවේ සම්මත කළා. පළමු වතාවට වත්මන් රජය මේ වැඩකටයුතු භාරගෙන ඉදිරියට ගෙනයමින් තිබෙනවා.
දැන් අලුතින් මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා හතරක් ඇති කර තිබෙනවා. නුවරඑළිය ප්‍රාදේශීය සභාව මේ ජනතාවට, දැන් ගිනිගත්හේන ප්‍රාදේශීය සභාවට යන්න ඕනෑ නෑ. අතලගම නානුඔය ප්‍රාදේශීය සභාව ඉදිකර දී තිබෙනවා. දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක් විවෘත කර තිබෙනවා. අඹගමුව ප්‍රදේශයට හා නුවරඑළිය ප්‍රදේශයටත් අපි අලුත් කාර්යාල ලබාදෙනවා.
දැන් වතුකරයේ පාසල් කියලා නෙමෙයි අපි මුදල් ලබාදෙන්නේ හොඳම පාසල ළඟම පාසල කියලයි. මේ ප්‍රදේශයේ ගුරු හිඟයට විසඳුම් ලබාදීමට අපි පියවර ගෙන තිබෙනවා, වතුකරයේ ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. ඔබේ ආදායම පිළිබඳ අපි අවදියෙන් ඉන්නවා. සාමූහික ගිවිසුම යටතේ ඔබේ දීමනා වැඩි කර දී තිබෙනවා. අනෙකුත් වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කරලා එය අපි තවත් වැඩි කරන්න කටයුතු කරගෙන යනවා. ඒ සාකච්ඡාවේ ප්‍රධාන චරිතය අපේ දිගම්බරම් මහතා. එතුමා එයට නායකත්වය දුන්නා. දැන් වැඩි පුර මුදල් ලබාගන්න අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.
අපි ගම්පෙරළිය වැඩසටහනේ මුදලුත් සෑම මන්ත්‍රීවරයකුටම ලබා දී තිබෙනවා. විශාල දියුණුවක් නුවරඑළියේ සෑම ප්‍රදේශයටම එනවා. නගරයට වතුකරයට එක සමාන දියුණුවක් ලැබෙනවා. සිංහල, මුස්ලිම් ගම්මාන දෙකටම එනවා. දැන් අපට තිබෙන්නේ ආර්ථිකය දියුණු කිරීමටයි. මේ ප්‍රදේශයේ මැණික් කර්මාන්තය දියුණු කිරීමට අපි බලාපොරොත්තු වනවා. විශාල සංචාරක ව්‍යාපාරයක් අපි බොගවන්තලාවට ලබාදීමට බලාපොරොත්තු වනවා. සංචාරකයන් නුවරඑළියට සීමා නොකර මේ පැතිවලටත් ගෙන ආ යුතුයි. එතනින් දියුණු කළ යුතුයි. එම දියුණුව මගින් හැටන් දික්ඔය සහ නානුඔය ප්‍රදේශයත් දියුණු වනවා. ඒ වගේම කිතුල්ගල ප්‍රදේශයත් දියුණු වනවා. අන්න එහෙම විශාල දියුණුවක් කරගෙන යනවා. ඒ වගේම අපට කර්මාන්ත ගේන්න අවශ්‍යයි. මේ රැකියා ප්‍රශ්න විසඳීමට සචාරක ව්‍යාපාරය දියුණු වූ විට හැකිවෙනවා.
වතුකරයේ ජනතාවට සමාජ වුවමනාවන් සියල්ල ලබාදිය යුතුයි. නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය, පරිපාලන, ප්‍රාදේශීය සභා ලබාදිය යුතුයි. දැන් ආර්ථික වශයෙන් ජනතාවගේ අතට මුදල් එන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියත්මකයි.
වතුකරයේ තරුණ, තරුණියන්ට වෘත්තිය පුහුණුව ලබාදීමේ අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව කියන්න කැමතියි. මොකද රැකියාවලට යන්න වෘත්තීය පුහුණුව අවශ්‍යයි. ඉතින් කඳුකරයේ ද්‍රවිඩ ජනතාව අමතක කර නෑ. එම ජනතාවත් ශ්‍රී ලාංකික පුරවැසිභාවය භුක්තිවිඳින ජනතාවක්. ඒක අපි තවත් දියුණු කළ යුතුයි. එතනදි මම විශේෂයෙන්ම කඳුකරයේ වැඩකටයුතු භාර අපේ දිගම්බරම් ඇමැතිවරයා ගැන වචනයක් කියන්න කැමතියි. ආණ්ඩුව ඇතුළේ එතුමා විශාල සටනක් කරනවා ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න. සංවර්ධන වැඩසටහන්වලට මුදල් ලබා ගන්නවා. ඒ වෙනස වසර පහකින් මේ ප්‍රදේශයේ පමණක් නෙවෙයි, මාතර සිට දෙණියාය දක්වා සිටින ජනතාවගේත් අපි දකිනවා.
රක්වාන, රත්නපුර, බදුල්ල, මහනුවර, කෑගල්ල ප්‍රදේශවල පලනි දිගම්බරම් මහතා ගත් පියවර අපි දකිනවා. වතුකරයේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල සටනක් කරනවා. එතුමා මේ ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව ශක්තිමත් කරන එක විශාල හයියක්. ඒ නිසා එතුමා ලබා දුන් සහයෝගයට මම ස්තුතිවන්ත වෙනවා. එතුමා සමඟ ඔබේ ප්‍රදේශයේ තිනක රාජ් මන්ත්‍රීවරයාත් වැඩ කටයුතු කරගෙන යනවා. පාර්ලිමේන්තුවේ දී සෑම විටම වතුකරයේ දෙමළ ජනතාව වෙනුවෙන් කතා කරනවා. ජාතික කටයුතු ගැන කතා කරනවා.
ඒ වගේම මගේ මිත්‍ර කේ. කේ. පියදාස මහතා ගැන මම කතා කරන්න ඕන. එතුමා හැටන් ප්‍රදේශයට විශාල සේවාවක් කළා. එතුමා තමයි ඔබේ ප්‍රදේශයේ සිටින පැරැණිම මන්ත්‍රීවරයා. එතුමා එක්සත් ජාතික පක්ෂයට විශාල ශක්තියක්. ඔබේ ප්‍රදේශයේ සිටින රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයාත් ඔබේ ප්‍රදේශයට විශාල සේවාවක් කරනවා. ඒ වගේම ඔබේ ප්‍රදේශයේ සිටින වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ඔහුගේ පියාගේ අඩි පාරේ යමින් ඔබේ ප්‍රදේශයට විශාල සේවාවක් කරනවා.
අද එක්සත් ජාතික පක්ෂයේ හොඳ මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිනවා. මිරිස් කුඩු ගහන එක්කෙනෙක්වත් අපේ කණ්ඩායමේ නෑ. අපි පාර්ලිමේන්තුවට ආවේ කාටවත් මිරිස්කුඩු ගහන්න නෙමෙයි තමන්ගේ ජනතාව වෙනුවෙන් සේවාවක් කරන්න. අන්න ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා දිගම්බරම් ඇමැතිවරයා සමඟ මේ ප්‍රදේශයට විශාල සේවාවක් කරනවා යැයි අගමැතිවරයා පැවැසීය.
කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමැති පලනි තිගම්බරම් මහතා, - වතුකරයේ ජීවත්වන ජනතාවට දැන් තමාගේම කියා ලිපිනයක් තිබෙනවා. ලැයිමේ ජීවත් වූ ජනතාවට පර්චස් 7ක ඉඩමක වර්ග අඩි 550ක මනරම් නිවෙසක් ඉදිකර, නිරවුල් ඔප්පු සමඟ ලබාදීමට හැකිවීම මා ලද ජයග්‍රහණයක්.
වතුකරයේ පුරා ලැයිම් වෙනුවට මේ වන විට ගම්මාන බිහිවෙමින් පවතිනවා. අද විවෘත කරන ලද ගම්මානය වී. කේ. වෙල්ලයන්පුරම් ලෙස නම් කර තිබෙනවා. මේ වගේ දිවයින පුරා වැවිලි ප්‍රජාව ජීවත්වන ප්‍රදේශවල මේ ගම්මාන ඉදිකිරීමට අපි බලාපොරොත්තු වනවා. මෙලෙස නිවාස ඉදිකිරීම සඳහා සහයෝගය ලබාදෙන ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉන්දීය රජයටත් විශේෂ ස්තූතිය පුදකළ යුතුයි.
වතු කම්කරුවන්ගේ වැටුප් ඉදිරි අයවැයෙන් වැඩි කිරීමට තීරණය කිරීම අපි ගෙනගිය අරගලය නිසා ඇති වූ දෙයක්. විපක්ෂයේ ජනතා නියෝජිතයන් කම්කරුවන්ගේ පඩි වැඩි කිරීමේ සාකච්ඡාවේ දී වතු කම්කරුවන්ව පාවා දුන්නා. නමුත් අපි කිසි දිනක වතු කම්කරුවන් පවා දෙන්නේ නෑ. වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා කැපවී වැඩ කරන කෙනෙක් දිගම්බරම්.
ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා, -
ශ්‍රී ලංකාව අපේ විශේෂ අසල්වැසියෙක්. නිවාස ක්ෂේත්‍රයේ අපේ සහාය ශ්‍රී ලංකාව සමඟ ඇති අපගේ විශේෂ සබඳතාවල එක් උදාහරණයකි. ඉන්දියාව විසින් සිදු කරන ලද විශාලතම ආධාර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘතියයි. ශ්‍රී ලංකාවේ ඉන්දියානු රජය මගින් ඉදිකළ මුළු නිවාස සංඛ්‍යාව 63,000 කි. අද ඔබට ලැබෙන මේ නිවාස සඳහා රුපියල් බිලියන 50කට ආසන්න මුදලක් ආධාර යටතේ ලැබෙනවා. ශ්‍රී ලංකාව තුළ නිවාස 47,000ක් ඉන්දියානු ආධාර යටතේ ඉදි කර අවසන් කර තිබෙනවා.
එය ඇත්තෙන්ම පුදුම සහගත ගමනක් වී තිබෙනවා. 2018 අගෝස්තු මාසයේ දී ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද ප්‍රථම නිවාස ව්‍යාපෘතිය ඩුසිනානේ වතුයායේ ප්‍රතිලාභීන් වෙත ලබා දීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවට සහභාගි වුණා.
ජනවාරි මස මුල දී අපි දාගම බටහිර වතුයායේ ප්‍රතිලාභීන් සඳහා නිවාස 150ක් නිම කළෙමු. මේ නිවාස ලබාදීමේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යනවා. හෙල්බොඩෙඩ් සහ ලෙඩර්ජෙට් වතුවල ඉදිකළ නිවාස ඉදිකිරීම සම්පූර්ණයි. ඉදිරි දිනවලදීත් ඒවා ඔබට ලැබෙනවා. ආදර්ශ ගම්මාන නිවාස වැඩසටහන යටතේ දකුණු පළාතේ නිවාස 1200ක් ඉදිකිරීමට අපි සහයෝගය දක්වනවා.
මේ අවස්ථාව සඳහා ඉන්දියානු මහ කොමසාරිස් තරංන්ජිත් සිං සන්දු, පලනි දිගම්බරම්, කඳුරට නව ගම්මාන ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, කඳුරට නව ගම්මාන අධිකාරියේ සභාපති ශාෆ්ටර් මහතා ඇතුළු රාජ්‍ය අංශයේ පිරිසක් එක්ව සිටියහ.
අසේල ලියනගේ, හැටන් මධ්‍යම සමූහ මනුර සුදත් සෙල්ලහේවා

0 Comments