Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හැකියාවට තැන දෙන වාතාවරණයක් ඇති කරනවා

ඇමැති නවීන් දිසානායක

අනාගත දරුවන්ට දේශපාලනීකරණයෙන් තොරව තම හැකියාව අනුව අනාගතය සකසා ගැනීමට හැකි වාතාවරණයක් ස්ථාපිත කරන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.

බණ්ඩාරගම කළුතර දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේ ඉකුත් දා පැවැති “ වැවිලි සවිය ක්‍රීඩා උළෙල 2019 ” සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ඇමැති නවීන් දිසානායක මහතා එම අදහස් පළ කෙළේ ය.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කර තිබිණි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් නවීන් දිසානායක ඇමැතිවරයා මෙසේ ද කීය.

ගාමිණී දිසානායක මගේ දිවංගත පියාණන් වර්ෂ 1980 ගණන්වල අපගේ මහවැලි ගොවියන්ට ඊශ්‍රායලයේ වගා තාක්ෂණය ලබා දෙන්න උත්සහ කළා. කිසිදු චකිතයකින් තොරව ඒ රටවල් දියුණු වූ අයුරු හඳුනාගෙන අපද ඒ ගමන යායුතුයි. සරු පොළවක්, ජලය, ශ්‍රමය ආදි සියල්ලම අප රට සතුයි. නමුත් ආහාර නිෂ්පාදනයෙන් සම්පූර්ණයෙන්ම ස්වයංපෝෂිත වෙන්න නොහැකිවීම විශාල ප්‍රහේලිකාවක්. ඇයි අපිට මේක කරන්න බැරි කියා කෘෂිකාර්මික විශේෂඥයන්ගෙන් ඇසුවත් පිළිතුරක් දෙන්නේ නැහැ.

අපේ රට නිදහස ලබා වසර හැත්තෑ ගණනක් ගතව තිබුණත් එම ඉලක්කවලට යන්න නොහැකි වී තිබෙනවා. ක්‍රිකට් ක්ෂේත්‍රය පහළට වැටිලා. නමුත් ඇතුළෙ ඒගොල්ලන් මැච් ගහලා, ඡන්ද තියාගෙන දිනනවා. ඒ අය අතට අත දෙනවා, කේක් කනවා, ඡන්ද තියලා තනතුරු ගන්නවා නමුත් ක්‍රිකට් ක්‍රීඩාව තවත් පහලට යනවා.

ව්‍යවස්ථා සභාව පිළිබඳ නිතර කතා කරනවා. ව්‍යවස්ථා සභාව 19 වන සංශෝධනයෙන් සම්මත කරන්න මම ඇතුළු සියලුදෙනාම අත ඉස්සුවා. එජාපයේ, පොහොට්ටුවේ, ශ්‍රීලනිපයේ, ජවිපෙ, දෙමළ සන්ධානයේ සියලුදෙනාම කියවූ සියලු වගන්තිවලට එකඟව අත එසෙව්වා. දැන් මේක වැරදියි, දේශපාලනීකරණය වෙලා කියනවා. මේ ව්‍යවස්ථා සභාව මාතෘකාව මතු වෙලා තියෙන පළමු කරුණ රාජපක්ෂ පවුලට අවශ්‍ය නඩුකාරතුමන්ලා පත් කරන්න බැරි වීම. නොයෙක් අවස්ථාවල රාජපක්ෂ පවුලට හිතවත් විනිශ්චයකාරවරු පත් කරන්න ගිහිල්ලා ඒක සැබෑ වුණේ නැති වුණහම තරහ ආවා. දෙවැනි කාරණය පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණය කෙලින් හිටිය නිසා තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන්න බැරි වුණේ. ඒක අපි පිළිගතයුතු කරුණක්. තමා කැමති අය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්න වුණොත් මොකක්ද මේ රටේ නීති පද්ධතියට වෙන්නෙ. අපි හිස නමනවා ශ්‍රේෂ්ඨාධිකරණයට.

ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් වුවත් යම්කිසි ක්‍රමවේද ශක්තිමත්ව තියෙනවා. ඒ අනුව නිදහස් මාධ්‍ය ක්‍රියාත්මකයි. ඕනම දෙයක් කියන්න, බණින්න, හැකි වුවත් සුදු වෑන් ඇවිත් කිසිවෙක් උස්සගෙන යන්නෙ, මරන්න යන්නේ නැහැ. බණින්න අයිතිය තියෙනවා. ඒක මේ රටේ ජනතාවගේ නිදහස. ඒ අයුරින්ම අධිකරණ ක්ෂේත්‍රයට තමන් කැමති විනිසුරුවරු පත් කරන්න බැහැ. ඒකට සුදුසුකම් තියෙන්න අවශ්‍යයි. වර්ෂ 1990 ගණන්වලත් මෙවැනි ගැටලු විශේෂයෙන් පෞද්ගලිකව මගේ පවුලට ඇති වුණා. එදා එක්සත් ජාතික පක්ෂයෙන් මගේ තාත්තව, ඇතුලත්මුදලි මැතිතුමාව නෙරපුවා. ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය විට කිව්වා ඒ නෙරපීම හරි කියා. නමුත් මා හදවතින් දන්නවා ඒ නෙරපිම වැරදියි කියා. එක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් කොන්ද කෙලින් තියාගෙන එදා තීන්දුවක් දුන්නා. මාර්ක් ප්‍රනාන්දු මැතිතුමා මම තවමත් මතක් කරනවා හැම වෙලේම. එතුමා කිවුවා මේ පුද්ගලයන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන්න බැහැ කියා. මක්නිසාද ඔවුන්ට තිබුණ සාධාරණ අයිතියක්, බලාපොරොත්තුවක් තමයි ඔවුන්ගේ ප්‍රශ්නය පක්ෂය ඇතුළේ කතා කිරීමට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ කියා. නමුත් අනෙකුත් අග්‍රවිනිශ්චයකාරවරු දෙදෙනාම වෙන මතයක හිටියේ. ඔවුන්ට දේශපාලන පීඩන තිබුණ බව මා දන්නවා. එදා අග්‍රවිනිශ්චයකාරවරු දෙපලක් කෙලින් සිටියනම් එක්සත් ජාතික පක්ෂය මෙහෙම කැඩෙන්නේ නැහැ. එදා 1990 ගණන්වල කැඩුණා. ගාමිණී ලලිත් වෙනම ගියා. නමුත් එහෙම කෙලින් සිට තීන්දු දෙන්න වාතාවරණයක් තිබුණෙ නැහැ. අද ඒ වාතාවරණය තිබෙනවා. ව්‍යවස්ථා සභාවෙ යම්කිසි ප්‍රශ්න තිබෙනවානම් ඒවා කතා කර විසඳගන්න පුළුවන්. මේක විශාල මාතෘකාවක් නෙවෙයි.

විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවා මේක ස්වාධීන නැහැ කියා, විජේදාස රාජපක්ෂ මහත්තයා දේශපාලන වශයෙන් අනාතයෙක්. එජාපයෙ, පොහොට්ටුවෙ හෝ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ ඔහු අද නැහැ. එදා නායකතුමාට කිවුවත් ඇමැතිකම් දෙන්න එපා කියා ඔහුගේ හොඳකම නිසා ආයෙත් ඇමැතිකම දුන්නා. නමුත් නැවත ගියා. අවස්ථාව ලැබුණම පැන්නා. අපට ඉදිරියේ දී මේ වගේ චරිත අවශ්‍ය නැහැ. අපිට ඕන කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් චරිත පමණයි.‍

පුරවැසියෙක් ලෙස කතා කරන්න අද ව්‍යවස්ථා සභාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ව්‍යවස්ථා සභාවට නම් තුනක් ජනාධිපතිතුමා යෝජනා කරනවා. ඒ නම් තුනෙන් තමයි එක නමක් තෝරන්නේ. ව්‍යවස්ථා සභාවට තියෙන්නේ ඒ නම් තුනෙන් හොඳම නම තෝරන එක.

හැම තැනම දේශපාලණීකරණයට ලක් වෙලා. දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න , රස්සාවක් ගන්න දේශපාලනඥයකුගෙන් ලිපියක් අවශ්‍යයි. මේ ක්‍රමය නැති කර සුදුසුකම්වලට, හැකියාවට ඉඩ දෙන්න ඕනෙ. හැකියාව, උත්සාහය තමාගේ අධිෂ්ඨානය අනුව ඉදිරියට ඒමට හැකි අවස්ථා සැකසිය යුතුයි. වැවිලි සවිය ක්‍රීඩා උළෙලෙන් සිදු කෙරෙන්නෙ එයයි. දරුවන්ගේ හැකියා ඔපමට්ටම් කර ඉදිරියට ගැනීමට හැකියි. මේ කටයුතුවලදී අප පක්ෂ, පාට බලන්නේ නැහැ. ඊට අවශ්‍ය හැකියාව පමණයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();