- අරමුදලෙන් වකුගඩු රෝගීන්ට කළ හැකි වැඩ කොටස විශාලයි
- මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සහ සුබසාධන මධ්‍යස්ථානය විවෘත කරමින් ජනපති කියයි
ඉන්ද්‍රාණි තෝරදෙණිය
පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අවස්ථාවේ බැනර්, කටවුට් සඳහා ලැබුණු පරිත්‍යාගවලින් අරඹන ලද වකුගඩු අරමුදල අද වන විට වඩාත් ශක්තිමත්ව රට පුරා දැඩි අවදානමකට මුහුණ පා සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් සිදු කිරීමට හැකි වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (25) මහනුවරදී පැවසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ පැවසුවේ මහනුවර මහ රෝහලට අනුබද්ධව රුපියල් මිලියන හයසිය විසි දෙකක මුදලකින් වැඩ නිමකරන ලද මහල් හතකින් යුත් අංග සම්පුර්ණව ඉදිකළ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සහ සුබසාධන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.
එහිදි වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේද කීය. මේ රටේ බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇති වකුගඩු රෝගය නිසා පළාත් හයක ජනතාව බරපතළ ඛේදවාචකයකට මුහුණ පා තිබෙනවා. මා ජනාධිපතිවරණයට 2015 වසරේ ඉදිරිපත් වන අවස්ථාවේ බැනර්, කටවුට් සඳහා විශාල ධන පරිත්‍යාග ලැබුණා. මැතිවරණයට බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය නොකිරීමට මා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන එම මුදල්වලින් වකුගඩු අරමුදලක් ඇති කළා. එදා එම අරමුදලේ රුපියල් මිලියන හැටක් පමණ තිබුණා. 2015 මා ජනාධිපති ධුරයට පත් වු පසු එය ජාතික වකුගඩු අරමුදලක් බවට ප්‍රකාශයට පත් කළා . මේ සඳහා පරිත්‍යාගශිලින්ගෙන් මුදල් විශාල වශයෙන් ලැබුණා. විදේශීය සංවිධාන මුදල් පරිත්‍යාග කළා. මේ අරමුදල අද වන විට රජය යටතේ පාලනය වන්නක්. මේ මුදල මගින් රටපුරා වකුගඩු රෝගීන්ගේ සුබසාධනය සඳහා විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කොට තිබෙනවා. ජල පිරිපහදු යන්ත්‍ර හයසියයක් ලබාදී තිබෙනවා. එම පරිත්‍යාගශිලීන්ගේ ධන පරිත්‍යාගය නිසා රජයේ මුදල් නොමැතිව රුපියල් මිලියන හයසිය විසි දෙකක මුදලකින් මහනුවර මහ රෝහලට අනුබද්ධිතව මේ වකුගඩු රෝගි සහන සහ සුබසාධන මධ්‍යස්ථානය ඉදිකිරීමට හැකිවුණා.
අනුව දසකයේ මුල් භාගයේ මේ රෝගය හඳුනාගනු ලැබුවා. ලංකාවේ විශ්ව විද්‍යාල ඇතුළු වගකිවයුතු ආයතන, වෛද්‍යවරු මේ රෝගය පිළිබඳව පරීක්ෂණ කළා. විදේශීය රටවලින් පරීක්ෂණ සිදු කොට වාර්තා ගෙන්වා ගත්තා. එදා පටන් අද වන තුරු රජයක් විදිහට කළ හැකි සෑම කටයුත්තක්ම මේ වෙනුවෙන් සිදු කළා. මේ වන විට මේ ඛේදවාචකය නිසා පවුල් පිටින් අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ රෝගයට වැඩිම වශයෙන් ගොදුරු වී සිටින්නේ මේ රටේ දුප්පත් ජනතාව. මේ හේතුව නිසා ඔවුන් සහ ඔවුන්ගේ පවුල් තව තවත් අසරණ තත්ත්වයට පත් වී තිබෙනවා.
මම සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේත් මේ වකුගඩු රෝගය සම්බන්ධව දැඩි අවධානයක් යොමුකළා. මට මතකයි ඒ කාලයෙත් මේ සඳහා ඉල්ලීම් රාශියක් රෝහල් බලධාරින්ගෙන් යොමු වුණා. මට හැකි සෑම සහායක්ම එදත් මම දුන්නා. මේ රෝගීන් වෙනුවෙන් දැඩි කැපවීමක් කරන වෛද්‍යවරු අපට සිටිනවා. විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතා. ඒ මහතා එවැනි චරිතයක්. පොදු වාහනවලින් බොහෝ දුර ඈත ගම්මානවලට ගොස් වකුගඩු රෝගීන් දැනුවත් කොට සායන පවත්වා දිවා රාත්‍රි නොබලා වැඩ කළ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක්. ඒ මහතා විශේෂ චරිතයක්. විද්වතෙක් ප්‍රවීණයෙක් මෙන්ම නිහතමානි පුද්ගලයෙක්. මහනුවර මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ආරම්භ කළදා පටන්ම දැඩි කැපවීමකින් කටයුතු කර වකුගඩු රෝගීන් සඳහා වු ඒකකය පිහිටුවමින් රට පුරා දසතින් එන රෝගීන් වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ වෛද්‍යවරයෙක්. එතුමාට උපහාරයක් ලෙස මේ ඉදිකළ වකුගඩු රෝගි සහන සහ සුබසාධන මධ්‍යස්ථානයට තිලක් අබේසේකර නමින් නම් කිරීමට ද තීරණය කළා. මේ රටේ ඉදිකෙරෙන සියලුම දේ සඳහා නම් කිරීමේදි මගේ නම දැමීම තරයේ ප්‍රතික්ෂේප කර සිටින්නක්. මේ සඳහා කැපවුණු සුදුසු අයෙකුගේ නමින් එය නම් කිරීම ඉතාම සුදුසුයැයි මා සිතනවා. එය එසේ විය යුතුයි.
ලෝකය ලංකාවේ ප්‍රධාන කරුණු දෙකක් ගැන කතා කරනවා. එය ඔසවා තබනවා. එම කරුණු දෙක තමා මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය. එය අප රටේ ඉතා විශිෂ්ටයි. මේ සඳහා ලෝකයේ විශාල පිළිගැනීමක් තිබෙනවා.
රුපියල් බිලියන ගණන් වැය කර රෝහල් ගොඩනැගිලි ඉදිකෙරෙනවා. රෝගීන් වෙනුවෙන් ඒවා අත්‍යාවශ්‍ය වුවත් රෝග වැළැක්වීම සඳහා ප්‍රමුඛත්වයක් දිය යුතුයි. පසුගිය වසර දෙකේ වකුගඩු රෝගය ව්‍යාප්ත වීම අඩු වී තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව සෞඛ්‍ය ප්‍රතිකාර සහ එම අංශ විසින් සහ මෙවැනි සංවිධාන මගින් ජනතාව දැනුවත් කිරීම, රෝග නිවාරණ වැඩසටහන් පැවැත්වීම, වැනි ක්‍රියාකාරකම්. මේ නිසා රෝගී ව්‍යාප්තිය අඩුවීමේ තත්ත්වය පෙන්නුම් කරනවා. අපි මේ සෑම දෙයකින්ම බලාපොරොත්තු වන්නේ එවැන්නක්.
මහනුවර මහ රෝහලේ විශාල අඩුවක්ව පැවති වකුගඩු රෝගීන් සඳහා වු නේවාසිකාගාරය ඉදි කරනු ලැබුවා. මෙය නේවාසිකාගාරයකට පමණක් සීමා වෙන්නේ නෑ. රෝගීන් වෙනුවෙන් අවශ්‍ය සියලුම පහසුකම් මේ ගොඩනැගිල්ලේ අඩංගුයි. රටේ සෑම ප්‍රදේශයකින්ම මේ රෝහලෙන් ප්‍රතිකාර සඳහා විශාල රෝගීන් සංඛ්‍යාවක් දෛනිකව පැමිණෙනවා. වකුගඩු බද්ධ කිරීම් ඇතුළු ප්‍රතිකාර මෙහි සිදු කෙරෙනවා. එම අවස්ථාවන්හිදී රෝගීන්ට නේවාසික පහසුකම් අවශ්‍යයි. ඔවුන් බංකු මත, කාඩ්බෝඩ් කෑලි මත ඉඳ දවස ගෙවමින් දැඩි දුෂ්කරතාවන් මධ්‍යයයේ ප්‍රතිකාර සඳහා යොමුවෙනවා. මේ තත්ත්වය නැවත මේ රෝහලට එන වකුගඩු රෝගීන්ට උදා වන්නේ නෑ. කිසිම බේදයකින් තොරව නිදහසේ තම නේවාසික අවශ්‍යතාවන් ඉතා සැපපහසු අයුරින් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. මේ සඳහා දායක වුණු සියලු දෙනාම ලොකු පුණ්‍ය කටයුත්තක් සිදුකරගෙන තිබෙනවා.
රටේ විශාල වෛද්‍ය හිඟයක්, හෙද හිඟයක් වගේම මේ ක්ෂේත්‍රයෙහි අත්‍යාවශ්‍ය අංශයන්හි හිඟකම් පවතිනවා. එසේ තිබියදීත් රෝගීන්ට අඩුවක් නොදැනෙන්න වෛද්‍යවරු ඇතුළු මණ්ඩලය දැඩි කැපවීමකින් කටයුතු කිරීම අගේ කළ යුතුයි.
වකුගඩු රෝගීන් සඳහා රජය විශේෂ මුදලක් දෙනවා. එම මුදල මහනුවර රෝගීන්ට නොලැබෙන බව දැන ගන්න තියෙනවා. ඒ පිළිබඳව සොයා බලා මහනුවර සිටින වකුගඩු රෝගීන්ටද එම මුදල ලබාදීමට කටයුතු කරනවා. රජය මොන තරම් දැනුවත් කිරීම් කළත් සෞඛ්‍ය සඳහා මුදල් වැය කළත් තමන් නිරෝගි වන එක කාටවත් කළ නොහැකි දෙයක්. තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව තම තමන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. එය රජය ගෙනයන ජාතික වැඩපිළිවෙළට විශාල රුකුලක් වෙනවා.
මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යුද හමුදාව දැඩි කැපවීමකින් යුතුව කටයුතු කළා. නාවික හමුදාව සහයෝගය ලබා දුන්නා. වකුගඩු රෝග පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය, රෝහල් අධ්‍යක්ෂ ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සහ තවත් නොයෙක් අංශයන්ගෙන් විශාල සහායක් ලැබුණා. සියල්ල එකතුවෙන් මෙහි සියලු වැඩ කටයුතු අතිසාර්ථක වුණා. ඒ සෑම කෙනෙකුටම ස්තුතිය පිරිනමනවා යැයිද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
මහනුවර රෝහලේ රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා-
මහනුවර මහ රෝහලෙන් වකුගඩු රෝගීන් හයදහසක් පමණ ප්‍රතිකාර ලබනවා. මෙයින් හයසියයක් වකුගඩු දෙකම අකර්මන්‍ය තත්ත්වයට පත්වුවන්. මොවුන්ට වකුගඩු බද්ධ කළ යුතුයි. රෝගීන් පන්දහස් හාරසියයක් ප්‍රතිකාර ලබන අතර හයසියයක් රුධිර කාන්දුකරණය සඳහා පැමිණෙනවා. මින් එකසිය පනහක් පරිතාන කාන්දුකරණය කරනවා. මේ රෝහලට රුධිර කාන්දුකරණය සඳහා යන්ත්‍ර තිස් අටයි තිබුණේ. එම නිසා දිවා රාත්‍රි දෙකෙහිම කාන්දුකරණ කටයුතු සිදු කිරීම කළා. රෝගින්ද මේ හේතුව නිසා දැඩි අපහසුතාවට පත්වුණා. බොහෝ රෝගීන් දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණෙන අය. සතියකට දෙතුන් වතාවක් පැමිණීමට සිදුවෙනවා. එවැනි අවස්ථාවල නේවාසික පහසුකම් නොමැතිකම නිසා දැඩි අපහසුතාවන්ට පත්වෙනවා. රුධිර කාන්දුකරණය සතියකට තෙවතාවක් සිදු කළ යුතු වුවත් එය ඒ ලෙසම සිදුකිරීමට අපහසුතා පැවතියා. නමුත් නව ගොඩනැගිල්ල ඉදිකිරීමත් සමඟ මේ සියලු බාධක මඟ හැරි යනවා. මෙහි රුධිර කාන්දුකරණ යන්ත්‍ර පනහක් සවිකර තිබෙනවා. රෝගීන්ට නැවතීමේ පහසුකම් තියෙනවා. රෝගීන් සඳහා අවශ්‍ය සියලුම අවශ්‍යතාවන් මේ සත්මහල් ගොඩනැගිල්ල තුළ අන්තර්ගතයි. මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධකිරිම සාර්ථකව සිදු කෙරෙනවා. මොළය මිය ගිය රෝගීන්ගෙන් ලබා ගන්නා වකුගඩු බද්ධයද සිදු කෙරෙනවා. දැනට රෝගීන් එක්දහස් දෙසියකට පමණ වකුගඩු බද්ධ කිරීම සිදු කර ඇති අතර ඔවුන්ගේ ඉදිරි සෞඛ්‍ය තත්ත්වයන් බලා ගැනීමද මේ රෝහලෙන් සිදු කෙරෙනවා. සතියකට බද්ධකිරිම් තුනක්වත් මේ රෝහලේදි සිදු කෙරෙනවා. මේ ගොඩනැගිල්ල ඉදිකර වකුගඩු රෝගින් සඳහා සුබසාධනය සැලසිම රෝගින් වෙනුවෙන් කරන ලද විශාල සත්කාරයක් යැයිද ඒ මහතා පැවසීය.
මෙහිදි ගෘහස්ථ ජල යන්ත්‍ර හය සියයක් ලබාදීම සංකේතවත් කරමින් පස් දෙනෙකුට ජල යන්ත්‍ර සහ වකුගඩු රෝගීන් පන්සියයකට රුධිර පීඩන මාපක ලබාදීම සංකේතවත් කරමින් පස් දෙනෙකුට රුධිර පිඩන මාපක ලබාදීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, කැබිනට් අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පළාත් සභා සහ ප්‍රා දේශීය සභා නියෝජිතයන්, දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ වකුගඩු රෝගීන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ.

0 Comments