ජයග්‍රහණයක් අවසානයේ මතක සටහන් විදියට තරගය සඳහා භාවිතා කෙරෙන යම් යම් එක් කර ගැනීම ක්‍රීඩාවේ සාමාන්‍ය දෙයක්. මෙය ක්‍රිකට් ක්‍රීඩාවට ආදේශ කිරීමේදී එකී මෙවලම් අතරට තරගය සඳහා භාවිතා කරනු ලබන විකට් ඉනි සහ බේල්ස් (විකට් කූරු උඩ තබා තිබෙන මෙවලම) වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඇත්තටම සෑම තරගයකදීම එසේ සිදු නොවුණද සුවිශේෂී ජයග්‍රහණයන් අවසානයේදී නම් මෙකී මෙවළම්වලට හිමිවන්නේ විශේෂී ඉල්ලුමක්. විටෙක එවැනි මෙවලමක් ලබා ගැනීම ක්‍රීඩකයන් අතර වූ තරගයක් දක්වා දුරට යන අවස්ථා ද ඕනෑ තරම් තියෙනවා.
1996 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව එක්ක කල්කටාවල තිබුණ අවසන් පූර්ව තරගයෙදි සනත් ජයසූරිය අතර තිබුණු විකට් ඉනි දෙකෙන් එකක් අසංක ගුරුසිංහ විසින් උදුරා ගැනීම ඒ ගැන අපට තියෙන හොඳම මතකය විදියට හඳුන්වන්න පුළුවන්. ඒත් අපි අද කියන්න හදන කතාව නම් ටිකක් හාත් පසින්ම වෙනස් එකක්. මේ කතාවෙදි මතක සටහනක් විදියට විකට් ඉන්නක් අරගෙන යන්නේ ක්‍රීඩකයෙක් නම් නොවෙයි. ඒ තරගය විනිශ්චය කරන විනිසුරුවන් දෙදෙනාගෙන් එක් අයෙක්. ඔහු නවසීලන්ත ජාතික විනිසුරු ඉයන් ගෝල්ඩ්. ගෝල්ඩ් ඔය කියන විකට් ඉන්න අරගත්තේ දකුණු අප්‍රිකාවත් ශ්‍රී ලංකාවත් අතර පෝර්ට් එලිසබෙත් වල තිබුණු දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරාට පස්සේ. ඇත්තටම මේ තරගාවලි ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට විතරක් නොවෙයි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවටම සුවිශේෂී වුණා කිව්වොත් හරි. මොකද වසර 1898 ක් දක්වා ඉතිහාසයකට හිමිකම් කියන දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ආසියානු රටක් හමුවේ පළමු වරට සිය මව්බිමේදී ලද පළමු ටෙස්ට් තරගාවලි පරාජයට පත් වුණු පළමු තරගාවලිය මෙය නිසා. බොහෝ දෙනා හිතුවේ ලොව අංක 1 වේග පන්දු බල ඇණිය ඉන්න දකුණු අප්‍රිකාවට එරෙහිව ලද මේ ජයග්‍රහණය නිසා ගෝල්ඩ් විකට් ඉන්න අරගන්න ඇති කියලා. ඒත් ඇත්තටම ඒ ගැන ඔහුගෙන් අහලා බලද්දී ඔහු කියලා තිබුණේ පුදුම හිතෙන කතාවක්. "නෑ. මම එය මගේ ළඟ තියාගන්න තීරණය කළේ ඒ තරගයට ක්‍රීඩා කරපු තරුණ ක්‍රීඩකයා පන්දුවට පහර දුන්න ආකාරය මතක් වෙන්න" යැයි පවසා තිබේ. ගෝල්ඩ් කියන තරුණ ක්‍රීඩකයා ඕෂධ ප්‍රනාන්දුය. මේ තරගය ඕෂධගේ දෙවැනි ටෙස්ට් තරගයයි. ලොව අංක එකේ වේග පන්දු බල ඇණිය සහිත දකුණු අප්‍රිකානු වේග පන්දු බලඇණිය තුට්ටුවකටවත් මායිම් නොකළ ඕෂධ, ඉතිහාසයේ ලද සුවිශාල ජයග්‍රහණය සනිටුහන් කිරීම වස් වාර්තා කරන ලද ජයග්‍රාහී ලකුණද සිය පිත්තෙන් වාර්තා කිරීමට තරම් වාසනාවන්ත විය. ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය ඒ තරගයේදී ඕෂධගේ පිත්තෙන් වුණු දායකත්වය නොදැවී ලකුණු 75 ක්. එය ඕෂධගේ මංගල අර්ධ ශතකය වුණා වගේම දිවියේ වැඩිම ලකුණු ලෙසින්ද සටහන් වුණා.
මේ වන විටත් තරග 2 කට ක්‍රීඩා කරලා තියෙන ඕෂධගේ ඉනිමක ලකුණු ලබා ගැනීම සටහන් වෙන්නේ ලකුණු 43.66 ක් විදියට. කුසල් මෙන්ඩිස් එක්ක ඕෂධ කරපු වික්‍රමය නිසා මේ වෙනකොට ඕෂධගේ දක්ෂතාව ගැන ගොඩක් අය කතා කරන්න පටන් අරන්. ඒ අනුව ගෝල්ඩ් විනිසුරුවරයාගේ හද ගත්තු මේ තරුණ නවක ක්‍රීඩකයාගේ ක්‍රිකට් දිවිය පටන් ගත්තා විතරයි. අපි බලමු ඔහු අනාගතයේදී ශ්‍රී ලංකාවට තව කොච්චර ජයග්‍රහණ ලබා ගැනීමට දායක වෙයිද කියලා.
චමිල කරවිට

0 Comments