Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන් විදුලියේ ඉලන්දාරිකම සිරසට විසි පහයි

නාළිකා ප්‍රධානි සජිත් රත්නායක
පෙබරවාරි 28, 2019

1924 දී ලංකා ගුවන්විදුලියෙන් ඇරඹි මෙරට ගුවන්විදුලි ඉතිහාසයේ පෞද්ගලික අංශයට බලපත්‍ර පැවරීම සමඟින් මෙරට බිහි වූ ප්‍රමුඛ පෞද්ගලික ගුවන්විදුලි නාළිකාවක් බවට පත් වූයේ සිරස එෆ්එම් ගුවන්විදුලි නාළිකාවයි. 1994 වසරේ මාර්තු 02 වැනිදා එෆ්එම් ස්ටීරියෝ ගුවන්විදුලි තාක්ෂණය යටතේ ආරම්භ කළ සිරස ගුවන්විදුලි නාළිකාව අද වන විට විසිපස් වසරක් දුර පැමිණ අවසන්. එදා මෙදාතුර මෙරට ගුවන්විදුලි ක්ෂේත්‍රයේ පුරෝගාමී වෙනසක් කරමින් පැමිණි සිරස එෆ්එම් විසිපස් වැනි සමරුව ගැන අපට කියන්නේ නාළිකා ප්‍රධානි සජිත් රත්නායක.

විසිපස් වසරක් සිරස පැමිණි ගමනේ රහස මෙකක්ද?

සිරස එෆ්එම් කියන්නේ අපේ රටේ ගුවන්විදුලි කලාව වෙනස් කළ නාළිකාවක්. එදා පටන් පැමිණි මේ ගමන බොහොම සාර්ථක එකක්. අපෙන් පසුව මෙරට පෞද්ගලික ගුවන්විදුලි නාළිකා රැසක් බිහි වුණා. ඒ හැම එකක්ම ආවේ අපි හදපු පාරේ. ගත වුණු වසර විසි පහ පුරා අපේ ශක්තිය වුණේ ආදරණීය අසන්නන්. අපි ඔවුන් වෙනුවෙන් හරවත් දේ ලබා දීම අපේ වගකීමක්. මිනිසුන්ගේ හදවතේ අපි ඉන්නවා කියන එක අපි හැමදාම විශ්වාස කරන දෙයක්. සිරසට හැමදාම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ ඒ නිසා තමයි. අපට වෙන ප්‍රතිචාර වැඩක් නැහැ. සමීක්ෂණ වාර්තා අපට හදා ගන්න පුළුවන්. ගුවන්විදුලි කලාව සම්බන්ධයෙන් සියයට සියයක් සාධාරණ සමීක්ෂණ වාර්තා ලංකාවේ නැහැ. ජනතාව අපි සමඟින් ඉන්නවා කියලා අපි වැඩක් කරන විට තේරුම් ගන්න පුළුවන්. මේ අවුරුදු 25 පුරා අපි ලබා ගත්තේ එපමණයි. ඉතින් මේ වසර විසිපහ පුරා අප සමඟින් සිටි ශ්‍රාවකයන් වගේම කලා ශිල්පීන්, අපි බිහි කළ තරු මේ හැමෝම මේ වෙලාවේ සිහිපත් කළ යුතුයි.

බොහොමයක් ගුවන්විදුලි නාළිකාවල අන්තර්ගතය එක සමානයි වගේ ?

කොපි කරන එක හරිම ලෙහෙසි වැඩක්. නමුත් දෙයක් අලුතින්ම හොයා ගන්න එන අපහසු කටයුත්තක්. අපි සිරස පටන් ගත් දා පටන් අලුත් දේ හොයනවා. අලුත් අදහස් ගේනවා. ඉතින් එදා පටන් අද දක්වාම හැමෝම කරන්නේ ඒවා කොපි කරන එක තමයි. අනිත් අය අපේ දේවල් කොපි කරනකොට අපි තව තවත් අලුත් දේ හොයා ගන්නවා. අපි කුඩා දරුවාගේ පටන් වැඩිහිටියන් දක්වා වූ විවිධාකාර වැඩසටහන් රැසක් ඉදිරිපත් කරනවා. උදෑසන සමනල සිරස දරුවන් වෙනුවෙන් වෙන් වෙනවා. එහි පුංචි ප්‍රාඥයා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන අතිසාර්ථක වුණා. සමනල සිරස සති පාසල සිහිය පවත්වා ගැනීමට මඟ පෙන්වනවා. සූරිය සිරස සමඟින් අපි උදේ වැඩසටහන් කලාව වෙනස් කළා.

හැම නාළිකාවතම උදේ දහයේ පටන් විකාශය කරන්නේ ගීත ඉල්ලීම්. අපි ඒක වෙනස් කරමින් දහයේ සිට දහවල් එක දක්වා ගුවන්විදුලි නාට්‍යයක් විකාශය කරන්න කටයුතු කළා. සාමාන්‍යයෙන් නගරයක් ක්‍රියාශීලි වන්නේ දහය පමණ වන විටයි. මෙම ගුවන්විදුලි නාට්‍යයත් සාමාන්‍ය ගුවන්විදුලි නාට්‍ය කලාවෙන් බැහැරව නිර්මාණය වන්නක්. බාධක මැඩගෙන රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන පොලිස් නිලධාරියකු වටා ගෙතුණු කතාවක් සමඟින් තුමිඳු දොඩන්තැන්න එහි ප්‍රධාන චරිතයට හඬ දායකත්වය දෙනවා. පළමුවරට ගුවන්විදුලි රචනයට එක්වෙමින් මනුරංග විජේසේකර එහි පිටපත රචනා කරනවා. මා දන්නා තරමින් ගුවන්විදුලි නාට්‍යයකින් මේ වගේ වෙනසක් කරලා නැහැ. ඇත්තටම මේක අපේ රටේ රියලිටි එකක් වේවි. ඒවා මිනිසුන්ට හොඳීන් දැනෙනවා. මම හැමදාම කල්පනා කරන්නේ අපිමිනිස්සුන්ට දැනෙන්න දෙයක් වගේම හැදෙන්න දෙයක් දිය යුතුයි කියලායි.

වර්තමානයේ ගුවන්විදුලි නාළිකාවල රඳාපැවැත්ම මුදල් බෙදාදීම මත රැඳී ඇති බවයි පෙනෙන්නේ?

වර්තමානයේ බොහොමයක් නාළිකා මුදල් බෙදා දෙනවා. ඒක දැන් කලාවක් බවට පත් වෙලා. නමුත් ඒ හැමෝම අවංකව අදාළ නාළිකාවලට සවන් දෙනවාද? පාරට බැහැලා ඇහුවාම නම කියන්නේ මුදල් දෙන නිසා. ඒ විදියට සල්ලි දීලා සිරස එෆ්එම් බලෙන් ශ්‍රවණය කරවන්න අපට කිසිම වුවමනාවක් නැහැ. අපිත් අපේ අසන්නන්ට මුදල් ලබා දෙනවා. ඒ ඔවුන්ගේ සැබෑම අවශ්‍යතාවන් වෙනුවෙන්. වැඩසටහන් අතරතුර පැවැත්වෙන තරගවල ජයග්‍රහකයන්ට අපි මුදල් ත්‍යාග ලබා දෙනවා. ඒ වගේම අපි ඔබ වෙනුවෙන් සිරස - ජීවිත නංවන ජාතික මෙහෙවර ආරම්භ කළේ මූල්‍ය අතින් අසරණ වූ අපේ ජනතාවට ශක්තියක් වීමටයි. අපි මේ හැමදේම කරන්නේ අප විශ්වාස කරන අපේ අසන්නන් වෙනුවෙන්.

සිරස ප්‍රජා සත්කාර වැඩසටහනේ ඉදිරිය කොහොමද?

විනෝදාස්වාදය වගේම අපේ අනාගත පරපුර දරුවන් වෙනුවෙන්, ආගමික උන්නතිය වෙනුවෙන් සුවිශේෂ වැඩපිළිවෙළ රැසක් සිරස සමඟින් ක්‍රියාත්මකයි. ගමට සවියක් වන සිරස ගම්මැද්දෙන් මේ වන විටත් ව්‍යාපෘති රැසක් දියත් කරලා තියෙනවා. 25 වැනි සංවත්සරයට සමගාමීව තවත් විශේෂ ව්‍යාපෘති රැසක් ආරම්භ කරන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් සිරසට 25යි පන්සල් 125යි සංකල්පය යටතේ මේ වනවිට 105 වැනි පන්සලේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. හැබැයි තවම නම් කවුරුත් ඒක නම් කොපි කළේ නැහැ.

විසිපස් වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සූදානම් ඇති?

මාර්තු පළමු වැනිදා සිට අපේ සංවත්සර වැඩසටහන ආරම්භ කරන්න නියමිතයි. රුවන්වැලි සෑයෙන් ආරම්භ කර ශ්‍රී මහා බෝධින් වහන්සේ, ශ්‍රී පාදය ඇතුළුව රට පුරා සෑම ප්‍රදේශයක්ම ආවරණය කරමින් පිරිත් සජ්ඣායනය කරන්න කටයුතු සූදානම් කර තිබෙනවා. පසුදින දෙපානම මැදිරි සංකීර්ණයේ දානමය පිංකමෙන් අනතුරුව සිරස රූපවාහිනි නාළිකාව සමඟින් සම්බන්ධ වෙනවා. සිරස එෆ්එම් 25 වැනි සංවත්සර ගීතය එහිදී එළිදක්වනවා. සිරස බිහි කළ ගායක ගායිකාවන් 25 දෙනෙක් එයට දායක වී සිටිනවා. මාර්තු 2 වැනිදා සවස 2.00 සිට මීගමුව කඬොල් කැළේ ක්‍රීඩාංගනයේ සිට අපි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එහිදී සිරස තෑගිකොප්ටරේ මඟින් විනාඩි 10න් 10ට අපි ලක්ෂ ගණනක් වටින තෑගි සහ ගිටාර් 25ක් මේ සංවත්රය වෙනුවෙන් තැගී කරන්න බලාපාරොත්තු වෙනවා. සවස 5.00ට සංගිත සංදර්ශනය ආරම්භ කරන්න නියමිතයි. සිරසට 25යි - සංගීත කණ්ඩායම් 25යි. මෙම සංගීත සංදර්ශනය සහ සමරු සැණකෙළිය ලංකාවේ එතෙක් මෙතක් පැවති විශාලතම සංගීත සංදර්ශනය බවට පත් වේවි.

සිරසට වසර 25ක් ගත වෙන තැන සිදුවන වෙනස්කම් මොනවාද?

ගුවන්විදුලි කලාවේ වෙනස ඇති කළේ, සිරස එෆ්එම්. සිරසට වසර 25ක් වන විට ඒ වෙනසේ තවත් ලොකු වෙනසක් සිදු වේවි. අපි කියන්නේ, වෙනසේ වෙනසට සූදානම් වෙන්න කියලායි. මොකක්ද මේ වෙනස කියලා දැනගන්න මාර්තු 2 වැනිදා 106.5 - 106.7 ඔස්සේ සිරස එෆ්එම් අහන්න.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();