Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දින 7කින් ඓතිහාසික පෙරැළියක් කළ සිංහ සටන

නිරෝෂාන් ප්‍රියංකර

පිට පිට ටෙස්ට් තරගාවලි 3ක් පරාජයට පත්වෙමින් ජයග්‍රහණයේ ඉඩෝරයකට හසුව සිටි ශ්‍රී ලංකාව ඉන් මුදාගනිමින් ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් අත්කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ පසුගියදා දකුණු අප්‍රිකාවේදී සමත් වූහ.

ශ්‍රී ලංකා පිල එංගලන්තය (3-0), නවසීලන්තය (1-0) සහ ඔස්ට්‍රේලියාව (2-0) හමුවේ පිට පිට අවසන් වරට ටෙස්ට් තරගාවලි පරාජය පත්ව තිබූ අතර ඉන් පෙර ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ ද දකුණු අප්‍රිකාවට එරෙහිව වීම කැපී පෙනෙන සිදුවීමකි. ඒ ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදී 2-0ක් ලෙසිනි.

මෙවර ජයත් සමගින් දකුණු අප්‍රිකාවේදී ඔවුන්ට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගත් ලෝකයේ තෙවැනි කණ්ඩායම බවට පත්වූ ශ්‍රී ලංකාව එවැනි දස්කමක් කළ පළමු ආසියාතික රට ලෙසද වාර්තා පොතට එක්විය.

දකුණු අප්‍රිකාව සමග තරග 2කින් සමන්විත වූ ටෙස්ට් තරගාවලියේදී මේ ජයග්‍රහණය අත්කර ගැනීමට ශ්‍රී ලංකා පිල වැය කළේ දින 7ක් පමණි. ඔවුන්, ඔස්ට්‍රේලියාව සමග පැවැති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වූයේද දින 7ක් තුළදී වීම විශේෂ සිදුවීමකි.

මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දස්කම් කැපී පෙනුණි අතර ප්‍රතිවාදීන්ට වඩා ශ්‍රී ලංකා පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද ඉදිරියෙන් පසුවුහ. මේ තරගාවලියේ වාර්තාවූ එකම ශතකයට හිමිකම් කියමින් පළමු තරගයේදී වාර්තා ගත පිතිහරඹයක නිරත වෙමින් තරගයේ වීරයා වූ කුසල් ජනිත් පෙරේරා අර්ධ ශතකයක් සමගින් ලකුණු 224ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ අතර තරගාවලියට පෙර ටෙස්ට් තරග 4කට පමණක් එක්ව සිටි විශ්ව ප්‍රනාන්දු ලකුණු 62කට කඩුලු 4ක් දවා ගනිමින් තම ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කිරීමට සමත්වූයේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වෙමිනි. කුසල් ජනිත් පෙරේරා විසින් පළමු තරගය ජයග්‍රහණ කරා ගෙන යෑමේ ගමනේදී විශිෂ්ටතම සහයකයා වූයේද විශ්වය. ඔහු තරග 2දී කඩුලු 12ක් බිඳ දැමීමට සමත් විය. කසුන් රාජිත කඩුලු 9ක් සමගින් දෙවැනි තැනට පත්විය.

නව නායකත්වයක්

තරගාවලිය 3කදී තරග 6ක් පරාජයට පත්වෙමින් පරාජයන් රැසකින් හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පළමු වරට 30 හැවිරිදි දිමුත් කරුණාරත්නට පැවරෙන්නේ අභියෝගය රැසක් මැදය.17 වැනි ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා වන ඔහුට දකුණු අප්‍රිකාව සමග එරට තරග 2කින් යුත් තරගාවලියකට එක්වීමට සිදුවන්නේ නවකයන් කිහිපදෙනකුද සමගිනි. හිටපු නායකයා සමගින් ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු අහිමිවූ කණ්ඩායම සමගින් දිමුත්ට පරාජයන් වැල නිමාකිරීමට සිදුවිය.

නවකයෝ දෙදෙනෙක්

මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් වරම් හිමිකර ගැනීමට 26 හැවිරිදි ඕෂද ප්‍රනාන්දු සහ 22 හැවිරිදි ලසිත් ඇඹුල්දෙණියට හැකිවිණි.

පළමු තරගයේදී පිළිවෙළින් ලකුණු 19ක් සහ 37ක් රැස්කළ ඕෂදට දෙවැනි තරගයේ පළමු ඉනිමේදී ලකුණු ලබාගැනීමට නොහැකි විය. එහෙත් දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා ඓතිහාසික ජයග්‍රහණයට එක්වූ ඔහු, කුසල් මෙන්ඩිස් සමගින් එක්ව ලකුණු 163ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගමින් නොදැවී ලකුණු 75ක් රැස් කළේය.

පළමු තරගයේ පළමු ඉනිමේදී කඩුල්ලක් පමණක් දවාගත් ඇඹුල්දෙණිය දෙවැනි ඉනිමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5ක් බිඳ දැමීමට සමත් විය. දෙවැනි තරගයේදී අවාසනාවන්ත සිදුවීමකට මුහුණදුන් ඔහුට එම තරගය අහිමිවී ගියේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙනි. වියාන් මුල්ඩර් දෙවැනි තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.

වීරයෝ වූ කුසල් ලා

දෙපිල අතර පළමු තරගයේ වීරයා වෙමින් ශ්‍රී ලංකාව ජයගහ්‍රණය කරා ගෙන යෑමට කුසල් ජනිත් පෙරේරා සමත් වූයේ ක්‍රිකට් වාර්තා පොතටද එක්වෙමිනි. තරගයේ වීරයා වෙමින් තම ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කරමින් ඔහු දියත් කළ එම ඉනිම හේතුවෙන් විචාරකයන් හැඳින්වූයේ ඔහු ‘සුපර්මෑන්’ ලෙසිනි. ටෙස්ට් තරගයකදී ලකුණු හඹා යමින් කණ්ඩායමක් ජයග්‍රහණය කරා ගෙන යෑමේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසත් කුසල් ජනිත් වාර්තාපොතට එක්විය. ලකුණු 78ක සබඳතාවක් පිහිටුවමින් ඔහුට අනගි සහයක් ලබාදීමට විශ්ව ප්‍රනාන්දුට හැකිවිය. එමෙන් ඉනිම 7කදී දිගින් දිගටම ලකුණු අතරට පිවිසීමට අසමත්ව සිටි 24 හැවිරිදි කුසල් මෙන්ඩිස් දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 84ක් රැස්කරමින් ක්‍රීඩක ඕෂද ප්‍රනාන්දු සමග එක්ව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියේ තරගයේ වීරයා බවටද පත්වෙමිනි.

දිමුත් තවත් කඩඉමක් පසුකරයි

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ තවත් කඩඉමක් පසුකර යෑමට සමත් විය. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසිනි.

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවැති පළමු ටෙස්ට් තරගයේ දිමුත් මේ කඩඉම පසුකර ගියේ පළමු ඉනිමේදී ලකුණු 12ක් රැස්කිරීමත් සමගය. ඔහු මේ වනවිට තරග 60කදී (ඉනිම 117) ලකුණු 4074ක් රැස්කරගෙන සිටින්නේ ශතක 8ක් සහ අර්ධ ශතක 22ක් සමගිනි. එමෙන්ම දෙවැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට දිමුත් මේ සංචාරයේදී සමත්වූ අතර එය දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිගේ කඩුල්ල වීම විශේෂත්වයකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();