විපක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් 05 දෙනෙකු සිටින බවත් අවසානයේ ඉන් වඩාම ජනප්‍රිය පුද්ගලයා තෝරා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවසීය.
මේ වන විට රටේ සිටින වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෙස තමන් ප්‍රකාශ කරන බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි යයිද මන්ත්‍රීවරයා කීය.
උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ඊයේ (14) පිටකෝට්ට පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
පසුගිය කාලයේ ගෙනා 19 ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ ඇතැම් කරුණු කාරණා ඉවත් කර ගැනීමට හැකි වූයේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය නිසායැයිද පැවසූ ගම්මන්පිල මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බව ප්‍රකාශ කළේය.
පිවිතුරු හෙළ උරුමය ලෙස විපක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා පිළිබඳ අදහසක් තිබෙන බවද කී මන්ත්‍රීවරයා 2015 ජනාධිපතිවරණය ආසන්න වන තෙක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නමද හෙළි නොකළ බව පැවසීය.
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා තවම කාලය තිබෙන බවද කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලට බියක් දක්වන බවද සඳහන් කළේය. ආණ්ඩු පක්ෂයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්වීම, එක් නොවීම පිළිබඳව තමන්ට සහතික දිය නොහැකි බව පැවසූ ගම්මන්පිල මහතා තමන් සිහිනයකින් වත් එක්සත් ජාතික පක්ෂයට එකතු නොවන බව පැවසීය.
මහින්ද අමරවීර මන්ත්‍රීවරයා විපක්ෂයේ සියල්ල එක් කිරීමට දරණ උත්සාහය පිළිබඳව කෘතඥතාව පිරිනමන අතර මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස් නොවුවණු බවත් එහි සාමාජික ගාස්තු ගෙවන බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් උතුරු පළාත සහ නැඟෙනහිර පළාතේ ඇතැම් කොටස් හැර අන් සියලු ප්‍රදේශවලින් තමන් නියෝජනය කරන විපක්ෂ කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් කරන බවද මන්ත්‍රීවරයා පැවසීය. මැතිවරණ පැවැත්විය යුතු බවට පිවිතුරු හෙළ උරුමය දිගින් දිගටම අරගල කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට මැතිවරණ ලබාදීමේදී කම්මැලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් පැවසූ මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාට හිමිවිය යුතු පහසුකම් අවම කිරීමට ඇතැමුන් උත්සාහ කිරීම පිළිබඳව කනගාටුව පළ කරන බවද කීය.
තමන් ඇතුළු විපක්ෂයේ බොහෝ දෙනෙක් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව නිවැරදි අවබෝධයකින් සිටිනවායැයිද ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසීය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතාද මෙහිදී අදහස් දැක්වීය.
0 Comments