Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආචි පිටියට බසී ක්‍රීඩකයන්ටත් උපදෙස් දෙයි

සංචාරක ඉන්දීය පිලට එරෙහිව ඊයේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට ඔස්ට්‍රේලියානු පිලේ නායක ටිම් පේන් සමග පිටියට පිවිසි කණ්ඩායමේ සමනායක 7 හැවිරිදි ආචි ස්චිලර් සිය කණ්ඩායමට උපදෙස් මාලාවක් ලබා දුන්නේය.

කණ්ඩායම් සාකච්ඡාවලදී ද සිය අදහස් පළ කිරීමට අවස්ථාවක් උදා කරගත් මේ කුඩා දරුවා ඊයේ සිය ක්‍රීඩකයන්ට කියා සිටියේ හයේ පහරවල් එල්ල කරන්න, කඩුලු ලබාගන්න (Hit sixes and get wickets) යනුවෙනි.

හදවත් රෝගයෙන් පෙළෙන මේ කුඩා දරුවාගේ සිත සතුටින් පුරවාලීමේ අරමුණින් ඔහු මේ තරගයේදී ඔස්ට්‍රේලියානු පිලේ සමනායකයා ලෙස නම් කර ඇති අතර වෙනදාට වඩා ක්‍රීඩාලෝලීන් පිරිසක් තරගය නැරැඹීමට ක්‍රීඩාංගණයට එක්රොක්වී සිටිනු පෙනුණි.

ඔස්ට්‍රේලියානු සංචිතයට එක්වූවත් කුඩා ආචි අවසන් 11 දෙනාගේ කණ්ඩායමට ඇතුළත් නොවේ. එසේ වුවත් ජාතික ගීය වාදනය වන අවස්ථාවේදීත්, කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේදිත් ඔස්ට්‍රේලියානු පිලේ නිල කබායෙන් හා හිස්වැස්මෙන් සැරැසී ආචි ද පිටියට පිවිසියේ ක්‍රීඩාලෝලීන්ගේ ඔල්වරසන් හඬ මැදය.

කාසියේ වාසිය ඉන්දීය පිලේ නායක විරාත් කෝලි දිනාගත් අතර මේ තණතීරුව හැම අතින්ම පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායමට වාසිදායක බව වේලාසනින්ම ආචි කී බැව් ටිම් පේන් කියා සිටියේය.

‘ආචිට ඕන කළේ මුලින්ම බැට් කරන්නයි. නමුත් මං එයාට කිව්වා මට හරියටම සහතික කරන්න බෑ මුලින්ම බැට් කළොත් කණ්ඩායමට වාසිදායකද අවාසිදායකද කියලා‘ ටිම් පේන් එසේ ද කීවේය.

කෙසේවෙතත් මේ කුඩා දරුවා කණ්ඩායමට එක්වීම සිය ක්‍රීඩකයන්ගේ සතුටටත්, මානසික ඒකාග්‍රතාව ඉහළ දැමීමටත් හේතුවනු ඇතැයි ඔස්ට්‍රේලියානු පිලේ නායකයාගේ අදහස වී තිබේ. කුඩා ආචි ක්‍රීඩකයන්ගේ විවේකාගාරය සතුටින් පුරවාලීමට සමත්වූ අතර ඉන්දීය පිලේ පිතිකරුවන් පන්දුවට පහරදෙමින් සිටියදී නොඉවසිලිමත්ව බලා සිටිනු දක්නට ලැබිණි.

ෆවුස් මොහොමඩ්

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();