Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළමු දිනයේ කඩුලු 14ක් බිඳ වැටෙයි

සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් සුරංග ලක්මාල් දැක්වූ පෙරළිකාර දස්කම් මත ඊයේ ක්‍රයිස්චර්ච් නුවරදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත පිල ලකුණු 178කට සීමා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූවත් නැවත වතාවක් ටිම් සවුති හමුවේ මුල්පෙළ පිතිකරුවන් අසරණවීමෙන් සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල පළමු දිනය නිමාවනවිට කඩුලු 4ක් දැවී ලකුණු 88ක් ලබා සිටියේය. ලකුණු අතරේ සිටින පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 27ක් ද, රොෂේන් සිල්වා ලකුණු 15ක් ද රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. ඒ අනුව කඩුලු 6ක් අතැතිව ශ්‍රී ලංකා පිල නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 90ක් පසුපසින් සිටී.

ඊයේ පස්වරු තේ පානයෙන් පසුව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 3ම බිඳ දමනු ලැබුවේ ටිම් සවුති විසිනි. මුලු ලකුණු සංඛ්‍යාව 10ක්ව තිබියදී දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත් කළ සවුති අනතුරුව ලකුණු 20දී නායක දිනේෂ් චන්දිමාල් ආපසු හරවා යැවුවේ ලකුණු 6ක් ලබා සිටියදීය. ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණක් එක්වෙද්දී ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක දැවී ගියේ සවුතිගේ පන්දුවකට ජීට් පටේල් වෙත උඩපන්දුවක් ලබාදීමෙනි. කුසල් මෙන්ඩිස් සහ ඇන්ජෙලෝ මැතිව්ස් එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 50 සීමාවට රැගෙන ගියත් ග්‍රෑන්ඩොම්ගේ පන්දුවකට වොට්ලින් අතට උඩපන්දුවක් ලබාදී මෙන්ඩිස් පිටියෙන් ඉවත්විය. දිනය නිමාවනවිට මැතිව්ස් සහ රොෂේන් එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 37ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගා තිබිණි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දු යැවීම තෝරාගැනීමෙන් පසුව නවසීලන්ත පිලේ මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනකුම ලකුණු 36කදී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ සුරංග ලක්මාල් වේගපන්දු යවන්නන්ට වාසිදායක ක්‍රයිස්චර්ච් තණතීරුවෙන් උපරිම ඵල නෙලාගැනීමට සමත්විය. නවසීලන්ත පිලේ මුලු ලකුණු සංඛ්‍යාව 64 ක් වෙද්දි 6 වැනි කඩුල්ලත් බිඳ වැටුණු අතර තරගයේ වාසිය එහෙම පිටින්ම සියතට ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය. එහෙත් බී.ජේ.වොල්ටින් සමග එක්වූ ටිම් සවුති ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නවසීලන්ත පිල ඉහළට ඔසවා තැබුවේ 7 වැනි කඩුල්ලට ලකුණු 108ක අගනා සම්බන්ධතාවක් ගොඩනගමිනි. වේගවත් පිතිහරඹයක නිරතවූ සවුති සිය ටෙස්ට් තරග දිවියේ 5 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර මුලු ලකුණු සංඛ්‍යාව 172ක්ව තිබියදී ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට ධනුෂ්ක ගුණතිලක අතට උඩපන්දුවක් දී දැවී ගියේ ලකුණු 68කටය. පන්දු 65කට මුහුණදුන් සවුති හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් එල්ල කිරීමට සමත්විය. එහෙත් ඔහුගේ දැවීයාමෙන් පසුව අවසන් කඩුලු 3ම ලකුණු 6ක් ඇතුළත බිඳ දැමීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

ලකුණු 54කට කඩුලු 5ක් දවාලමින් සිය ටෙස්ට් තරග දිවියේ කඩුලු 5ක් බිඳ දැමූ දෙවැනි අවස්ථාව සටහන් කළ ලක්මාල් ඊට පෙර එවැනි දස්කමක් පෙන්නුම් කළේ වසර 2016 මෙවැනි දිනයකදීම (දෙසැම්බර් 26) දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පෝර්ට් එලිසබෙත් නුවරදී ලකුණු 63කට කඩුලු 5ක් දවාලමිනි.

නවසීලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ අතරින් වේගපන්දු යවන්නන්ට වඩාත් හිතකර තණතීරුවක් ලෙස ප්‍රකට ක්‍රයිස්චර්ච් නුවර තණතීරුවේ ඊයේ දෙපිලේහිම කඩුලු 14ක් බිඳ වැටීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා පිල මේ තරගයේදී වෙනස්කම් දෙකක් සිදුකරමින් ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත වෙනුවට වේගපන්දු යවන දුෂ්මන්ත චමීර සහ මැදපෙළ පිතිකරු රොෂේන් සිල්වා කණ්ඩායමට ඇතුළත් කළේය.

අද තරගයේ දෙවැනි දිනයයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();