Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චැම්පියන් ලීග් පාපන්දු කණ්ඩායම් ප්‍රධානීන්ගේ ඒකාබද්ධ හමුව 29දා

ප්‍රින්ස් ගුණසේකර

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට එක්ව සිටින පාපන්දු කණ්ඩායම්වලට මුහුණදීමට සිදුව ඇති ප්‍රශ්න සාකච්ඡා කොට විසඳුම් සෙවීම උදෙසා සියලු කණ්ඩායම්වල ප්‍රධානීන්ගේ ඒකාබද්ධ හමුවක් මේ 29වැනිදා කොළඹදී පැවැත්වීමට යයි. එදින පාපන්දු ක්‍රීඩා සමාජවල ප්‍රධානීන්ගේ අදහස් අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත සංදේශයක් යොමු කිරීම සැලසුම වේ.

නිලධාරීන්ගේ හිතවත්කම් අනුව චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ තරග කාල සටහන වෙනස් කිරීමට එරෙහි ක්‍රියා මාර්ග ගැනීමද මෙම පාපන්දු කණ්ඩායම් ප්‍රධානීන්ගේ ඒකාබද්ධ හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට සහභාගීවන එක් කණ්ඩායමක් වසරකට රුපියල් ලක්ෂ 35ක් 40ක් පමණ වැයවන නමුත් පාපන්දු සම්මේලනය මේ වන තෙක් ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 2ක මුදලක් බව පාපන්දු ක්‍රීඩා සමාජ පෙන්වා දෙති. එම මුදලින් රුපියල් 10000ක් ක්‍රීඩා සමාජ ලියාපදිංචිය වෙනුවෙන් බව පවසා කපා ගැනීමට පාපන්දු සම්මේලනය ක්‍රියා කොට ඇතැයිද ක්‍රීඩා සමාජ ප්‍රධානීහූ මැසිවිලි නගති. පාපන්දු 10ක් හා ජර්සි කට්ටල 2ක් එක් ක්‍රීඩා සමාජයක් වෙත ලබාදීමට ද පාපන්දු සම්මේලනය කටයුතු කොට තිබූ අතර සොලිඩ් හා නිගම්බු යූත් යන කණ්ඩායම් ජර්සි කට්ටල ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා විය.

මෙයට පෙර අවස්ථාවකදීද පාපන්දු කණ්ඩායම් 10ක් එක්ව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඉල්ලීම් 6ක් සහිත ලිපියක් භාරදුන් අතර සෝන්ඩර්ස්, සුපර් සන්, රත්නම්, රෙඩ් ස්ටාර්. සොලිඩ්, මාතර සිටි, ක්‍රිස්ටල් පැලස්, පෙළිකන්ස්, නිගම්බු යූත් හා රිනවුන් යන ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ නියෝජිතයෝ එම ලිපියට අස්සන් තබා තිබුණි. එම ලිපිය මගින් දක්වා තිබුණේ චැම්පියන් ලීග් ක්‍රීඩා සමාජයකට රුපියල් ලක්ෂ 10ක්, පාපන්දු 20ක් හා ජර්සි කට්ටල 2ක් ලබා දෙන ලෙසයි. එමෙන්ම තරගාවලියේ ත්‍යාග මුදල් වැඩි කිරීම හා තරගාවලිය ආරම්භවන හා අවසන්වන නිශ්චිත කාල වකවානු ප්‍රකාශ කිරීම වැනි ඉල්ලීම් කිහිපයක්ද ලිපියට ඇතුලත් විය.

එම ලිපියට ප්‍රතිචාර දැක්වූ පාපන්දු සම්මේලනය ක්‍රීඩා සමාජයකට රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබාදීමට එකඟවූ අතර නව පාපන්දු තොගය විදෙස් රටකින් ඇනවුම් කොට ලබාදීමට කැමැත්ත පළ කළේය.

මේ අතර ක්‍රිස්ටල් පැලස් සමග තරගයේදී වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයට පිවිස නිතරග ජයක් ඉල්ලා සිටි වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කොට පාපන්දු සම්මේලනයේ අඩුපාඩු කිහිපයක් දන්වා ඇතැයි වාර්තා වේ. පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතාට ද එහි පිටපතක් යොමු කොට දැනුම්දී ඇත්තේ වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජයට සාධාරණයක් ඉටු කර දෙන ලෙසය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();