මාලදිවයින නව රජය යටතේ පළමු දින 100 වැඩසටහන ප්‍රකාශයට පත් කර තිබේ. පසුගිය දා නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මොහොමද් සෝලි ඊබ්‍රහිම්ගේ නායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතය. දින 100 වැඩසටහන පිළිබඳ පිටු 15කින් යුත් ලේඛනයක් ප්‍රකාශයට පත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පළමු දිනය, පළමු සතිය, පළමු මාසය, පළමු දින 60 සහ පළමු දින 90 යනුවෙන් කොටස්වලට බෙදා ඇති දින 100 වැඩසටහන යටතේ ක්ෂේත්‍ර 23ක් ආවරණය වන පරිදි පොරොන්දු 161ක් ලබා දී ඇත.
දූෂණය නිසා අහිමි වූ රාජ්‍ය මුදල්, වංචා හා දූෂණ සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කිරීම සහ ඒවා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීම, සියළු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ දේශපාලන සිරකරුවන්ගේ නඩු විභාග හා චෝදනා පිළිබඳව නැවත විමසා බැලීම, පෞද්ගලික අවශ්‍යතා අනුව අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධ සිදුවීම් නැවත විමසා බැලීම එම දින 100 වැඩසටහනේ පළමු දිනයේ දී සිදු කිරීමට නියමිතය.
ඒ අනුව මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් වූ පළමු ජනාධිපතිවරයා වන මොහොමඞ් නෂීඩ්ට එරෙහිව ලබා දුන් තීන්දු විමසා බැලූ අතර ඔහුට එල්ල වී තිබූ ත්‍රස්ත චෝදනා සියල්ල වැරැදි බවත් සියලු චෝදනාවලින් හිටපු ජනාධිපතිවරයා නිදහස් කරන බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගනු ලැබීය.

0 Comments