ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු හතුරුසිංහ
ඉතා තියුණු මුහුණුවරක් ගත් සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගමාලාවේ පීඩනකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ පසුබැසීම පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි. පෙරේදා එස්.එස්.සී.පිටියේ දී එංගලන්තයට ලකුණු 42ක ජය හිමි කරදෙමින් නිමාවට පත්වූ අවසන් ටෙස්ට් තරගයෙන් පසුව මාධ්‍ය හමුවට එක්වෙමින් හතුරුසිංහ මේ අදහස් පළ කළේය.
ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක පරාජයක් උරුම කරගත් ශ්‍රී ලංකා පිල පල්ලෙකැලේ පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පරාජයට පත්වූයේ ලකුණු 57කිනි.
‘මං හිතන්නේ තියුණු මුහුණුවරක් ගත් තරගමාලාවක් වුණා. විශේෂයෙන් අවසන් තරග දෙක. කණ්ඩායම් දෙක අතර තිබුණු වෙනස ඉතා සුළු එකක්. නමුත් එංගලන්ත පිල පීඩනකාරී අවස්ථාවලට සාර්ථකව මුහුණ දුන්නා. අපේ ක්‍රීඩකයන් එහිදී පසු බැමකට ලක්වුණා. බෙන් ස්ටෝක්ස් අවසන් තරග 2දී වෙනස් තරගකාරීත්වයක් පෙන්නුම් කළා. ඒ තරග 2ම ශ්‍රී ලංකා පිලේ වාසියටයි තිබුණේ. නමුත් ස්ටෝක්ස් පන්දු යැවීමෙන් වගේම පන්දු රැකීමෙනුත් දස්කම් දක්වලා ඒ තරග 2ම එංගලන්ත පිලේ වාසියට හැරෙව්වා. ඔහු අපේ අතේ තිබුණු වාසිය උදුරා ගත්තා. අපේ පන්දු රැකීමේ දුර්වලතාවත් පරාජයට හේතු වුණා.’ ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු කියා සිටියේය.
ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පන්දු යැවීමේ තුරුම්පුව රංගන හේරත් ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගත් අතර ඔහුගේ සමුගැනීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ අත්දැකීම් අඩු පන්දු යවන්නන් ඉතා සාර්ථකව ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා පුහුණුකරුගේ අදහස විය.
‘ලොකුම වෙනස වුණේ එංගලන්ත පිතිකරුවන් ශතක 4ක් රැස් කරද්දී ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට ශතකයක් වාර්තා කිරීමට නොහැකි වීමයි. කාසියේ වාසියත් මෙවැනි තණතීරුවලදී බලපානවා. කොහොමවුණත් එංගලන්ත පිල අපට වඩා හොඳින් ක්‍රීඩා කළා.’
‘අපි ක්‍රීඩකයන්ට ලබාදෙන අවස්ථාව වැඩිවෙන්න වැඩිවෙන්න ඔවුන් පරිණත වේවි. මං බලාපොරොත්තු වෙනවා අපේ ක්‍රීඩකයන් ඉක්මනින්ම ඉගෙන ගනීවි කියලා. මෙවැනි තණතීරු පිතිකරුවන්ට අභියෝගයක්. නිතරම මුලින්ම පිතිහරඹයේ යෙදුණු කණ්ඩායම හොඳ ලකුණු සංඛ්‍යාවක් රැස් කළා. දෙවැනි වර පන්දුවට පහරදෙන කණ්ඩායමට වගේම සිවුවැනි ඉනිම ක්‍රීඩාකරන කණ්ඩායමට ඒක ලෙහෙසි වුණේ නෑ. අපේ ක්‍රීඩකයන් මීට වඩා දස්කම් දක්වන බව මට සහතිකයි.’ හතුරුසිංහ සඳහන් කළේය.

0 Comments