ප්‍රින්ස් ගුණසේකර
ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරාජයවීම සර්බියානු ජාතික පුහුණුකරුගේ අත්තනොමතික ක්‍රියා කළාපය හේතුවෙන් සිදුවූ බව පංච පුද්ගල කමිටු වාර්තාවෙන් හෙළිවෙයි. මේ හේතුවෙන් සර්බියානු ජාතික ඩේජෑන් වුල්සෙවික් මහතා ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරු තනතුරෙන් ඉවත්කරන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
“මෙයට පෙර ජාත්‍යන්තර තරග රැසක් ක්‍රීඩා කර තිබූ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සෞදි අරාබියාවට එරෙහි තරගයේ ක්‍රීඩා කිරීමට පුහුණුකරු යොදවා නෑ. එලෙස තීරණ ගැනීමේදී සහය පුහුණුකරුවන් සමග හෝ කළමනාකරු සමග සාකච්ඡා කොට නැති බව වාර්තාව මගින් කරුණු හෙළිකොට තිබෙනවා. ඔහුගත් තනි පුද්ගල තීරණ පිළිබඳ විමර්ශනයේදී සාධාරණව කරුණු අනාවරණය කිරීමට අපොහොසත් වුණා. මේ පරාජයෙන් ශ්‍රී ලංකාවට අවසන් තරගයට පැමිණීමේ අවස්ථා ගිලිහී ගියා. සර්බියානු පුහුණුකරුගේ කාලය මේ දෙසැම්බර් මාසයෙන් අවසන්. ඔහුගේ සේවය දීර්ඝ නොකිරීමට වොලිබෝල් විධායක සභාව තීරණය කොට තිබෙනවා” සියඹලාපිටිය මහතා පැවැසීය.
ඉදිරියේදී ශ්‍රී ලංකා වොලිබෝල් ප්‍රධාන පුහුණුකරු තනතුරට අයැදුම්පත් කැඳවා ඉතා දක්ෂ පුහුණුකරුවකු බදවා ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.
මෙය තරග පාවාදීමක් දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක පිළිතුරු දුන් වොලිබෝල් සභාපතිවරයා පැවැසූවේ තමන් වචන භාවිතයේදී සැලකිලිමත්වන බවය. “විවිධ ආරංචි අපට ලැබෙනවා. ප්‍රතිවාදී කණ්ඩායමේ පුහුණුකරු සමග පෙරදා සර්බියානු පුහුණුකරු කතා කළ බවටත් යම් කතා බහ පැතිර ගියා. නමුත් වගකිවයුතු අය හැටියට අප කතා කරන්නේ කමිටු වාර්තාව පැහැදිලි සාක්ෂි සහිතව අනාවරණය කරගත් කරුණු මත පදනම්වී පමණයි. මින්මතු බඳවා ගන්නා පුහුණුකරු කටයුතු කළ යුතු ක්‍රමවේදය අප සකසා හමාරයි. මෙවැනි දේ මතුවට නොවන්න අප වගකීමෙන් යුතුව සැලසුම් සකස්කර තිබෙනවා” සියඹලාපිටිය මහතා පැවැසීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යෙදවීම මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර, ඒ පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ නියෝගයෙන් පත්කළ විශේෂ කමිටුව සතියක් ඇතුළත මේ වාර්තාව සකස්කොට තිබිණි.
ශ්‍රී ලංකා වොලිබෝල් පිලේ සර්බියානු ජාතික පුහුණුකරු මේ දිනවල විදෙස්ගතව සිටින අතර ඔහු වසරක කොන්ත්‍රාත් කාලයකට ශ්‍රී ලංකා පිල පුහුණු කළේය.
විමර්ශන කමිටුවේ සභාපති ප්‍රියන්ත ජයකොඩි, ලේකම් සුසිල් රණසිංහ හා කමිටු සාමාජිකයින් ලෙස සී. කේ. රත්නමුදලි, රංජිත් ප්‍රේමරත්න හා ධනපාල ජයපත්ම යන මහත්වරු කටයුතු කළ අතර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් නාලක ශාන්තසිරි මහතා ද මාධ්‍ය හමුවට එක්විය.

0 Comments