ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේදී ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරග වට 3-0ක විශිෂ්ට ජයක් වාර්තා කොට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මෙම තරගයේ ජයග්‍රහණයත් සමග අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව හා ඉරාකය අතර තරගය අද පස්වරු 4.00ට පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම තරගාවලියේදී තරග 4කට සහභාගීවී තරග 3ක් ජයගෙන සිටිති.
ශ්‍රි ලංකා - එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයේ ලකුණු තත්ත්වය වූයේ 25- 20, 25-17 හා 25-15ක් ලෙසය.පළමු හා දෙවැනි වට මැද භාගයේදී එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයෝ ඉදිරියෙන් සිටි අතර ශ්‍රී ලංකා පිල එම අභියෝග ජයගෙන ඉදිරියට පැමිණියහ. පළමු වටයේදී ශ්‍රී ලංකාව ලකුණු 14ක් ලබා සිටියදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල ලකුණු 16ක් ලෙසද, දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව ලකුණු 12ක් ලබා සිටියදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිල ලකුණු 12ක් විය.
ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ අනෙක් තරගවලදී සෞදි අරාබියාව, ඉරාකය ජයග්‍රහණ වාර්තා කළහ.
සෞදි අරාබියාව හා මොන්ගෝලියාව අතර තරගයෙන් වට 3-0ක ජයක් සෞදි අරාබියා පිලට හිමිවූ අතර ලකුණු තත්ත්වය වූයේ 25-17, 25-17 හා 25-15ක් ලෙසය. මැලේසියාව හා ඉරාකය අතර තරගයේදී ඉරාකය වට 3-1ක් ලෙස ජයගත් අතර ලකුණු තත්ත්වය 27-25, 21-25, 23-25 හා 20- 25ක් විය.
පළමු ආසියානු අභියෝගීතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලිය ලබන 22 අවසන් වන අතර පළමු හා දෙවැනි ස්ථානවලට පත්වන රටවල් දෙක ආසියානු කුසලාන තරගාවලියට උසස් වේ. මෙම තරගාවලියට ‘ඒ‘ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, මැලේසියාව, හොං කොං, කසකස්තානය හා ‘බී‘ කාණ්ඩයෙන් මොන්ගෝලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය. බංග්ලාදේශය, ඉරාකය යන රටවල් එක්ව සිටියහ.

0 Comments