ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලවපොර ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ගුවන් හමුදාපතිවරයාගේ සංකල්පයක් මත මීට වසර 7කට පෙර එනම්, 2011 වසරේ මාර්තු මස 30 වන දින ස්ථාපිත කළ ගුවන් හමුදා කාන්තා මල්ලවපොර සංචිතයෙන් බිහිවූ ක්‍රීඩිකාවෝ තුන්වැනි වරටත් ආරක්ෂක සේවා මල්ලවපොර තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පසුගියදා සමත්වූහ. වැලිසර නාවික හමුදා කඳවුරේ පැවැති මේ තරගාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 2ක් අත්කර ගත්හ. මීට අමතරව ගුවන් හමුදා පිලේ කරුණාසේන දක්ෂතම මල්ලවපොර ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
එයාර් වයිෂ් මාර්ෂල් ප්‍රියන්ත ධීරසිංහ මහතා යටතේ එවකට ක්‍රීඩිකාවන් 8 දෙනකුගෙන් ආරම්භ කළ ගුවන් හමුදා කාන්තා මල්ලව පොර සංචිතය 2014 වසරේ ආරක්‍ෂක සේවා මල්ලවපොර තරගයේ දී පළමුවරට ශූරතාව දිනාගත්තේය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියා මල්ලවපොර තරගාවලියට එක්වූ ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ එහිදී රිදී පදක්කම් 2ක්ද, ලෝකඩ පදක්කම් 3ක් ද දිනාගැනීම කැපී පෙනුණි.
2016 වසරේ කාන්තා ජාතික මල්ලවපොර ශුරතාවලියේ ජයග්‍රහණයත්, එම වසරේ ආරක්‍ෂක සේවා මල්ලවපොර තරගාවලියේ ජයග්‍රහණයත් අත්කර ගැනීමට ද ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම සමත්විය.
වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය ඇතුලු සෙසු නිලධාරීන්ගේ මග පෙන්වීමත්, ක්‍රීඩිකාවන්ගේ කැපවීමත් මේ ජයග්‍රහණයට ඉවහල් විය.

0 Comments