Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෙට පිබිදෙන පාපන්දු මල් කැකුළු ‘මයිලෝ‘අනුග්‍රහයෙන් බාසිලෝනාවට

ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් වන යුරෝපයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ Barc ඇකඩමියේ පුහුණුව ලැබීමේ වාසනාව හිමිකර ගැනීමට කොළඹ හමීඩ් අල් හුසේනියා විදුහලේ එම්.අයි.එම්.සයිත්, මහනුවර ත්‍රිත්ව විදුහලේ එම්.ඒ.ඒ.ෂාන්, කින්යා අල් අක්සා විදුහලේ කේ.එම්.කල්හීම් හා කිලිනොච්චියේ පුලවාර්මනි ෂෙරිෆුඩීන් විද්‍යාලයේ ඒ.සයිමර් යන ක්‍රීඩකයන් සහ පොලොන්නරුව බැදිවැව මහ විදුහලේ දුලානි සන්දීපනි හා කුරුණෑගල කව්සිගමුව මහ විදුහලේ විදුෂා විනෝද්‍යා ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති.

මේ වාසනාවන්තයන් හය දෙනා තෝරා ගනු ලැබුවේ ‘රෝඩ් ටු බාසිලෝනා‘ නමින් තරගාවලියක් පවත්වා පළාත් මට්ටමින් දක්ෂයන් හඳුනා ගෙන ඔවුන් පුහුණු කඳවුරකට යොමු කිරීමෙන් පසුවය.

අවසානයේ, දේශීය පුහුණු කඳවුරේදී තෝරා ගනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනා ට බාසිලෝනා පාපන්දු සමාජයේ Barc ඇකඩමිය නමැති පාපන්දු පාසලේ සිවුදින පුහුණුවක් ලැබීමේ අවස්ථාව හිමිවන අතර මේ සඳහා යන සියළු වියදම් දරනු ලබන්නේ ‘මයිලෝ‘ විසිනි.

ශ්‍රී ලංකාවෙන් බාසිලෝනා යන වාසනාවන්ත ළමයි හය දෙනා තෝරා ගැනීමේ රෝඩ් ටු බාසිලෝනා‘ අවුරුදු 12න් පහළ පාසල් පාපන්දු සැණකෙළිය ආරම්භ වූයේ පසුගිය මැයි 14 වැනිදාය. නෙස්ලේ ලංකා ආයතනයේ අනුග්‍රහයෙන් හා අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ දිවයිනේ පළාත් නවයේම පැවැති මේ තරගාවලියට අවුරුදු 12න් පහල බාලක හා බාලිකාවෝ 12,000කට වැඩි පිරිසක් සහභාගි වූහ.

තරගාවලියේ අවසාන මහා තරග වටය බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී කින්යා අල් අක්සා මහ විදුහල බාලක ශූරතාවත්, කුරුණෑගල කවිසිගමුව මධ්‍ය මහ විදුහල බාලිකා ශූරතාවත් දිනා ගත්හ.

තරගාවලියේ කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 50 දෙනෙකු බැගින් සෑම පළාතකින්ම තෝරා ගැනීමෙන් පසුව ඔවුන් විශේෂ පුහුණු කඳවුරකට යොමු කෙරිණි. අනුරාධපුරයේ පැවැති එම දෙදින පුහුණු කඳවුරට බාලක බාලිකාවන් 500 දෙනෙකුට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. බාසිලෝනා පුහුණු කඳවුරට යවන ක්‍රීඩකයන් සිවු දෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු තෝරා ගැණුනේ මේ විශේෂ පුහුණු කඳවුරෙනි.

සම්පත් පෙරේරා, සුමිත් වල්පොල, නිමල් විජේසේකර, කේ.එම්.කබීර්, ලලිත් වීරසිංහ හා එන්.දේවසායගම් වැනි හිටපු ජාතික පාපන්දු ක්‍රීඩකයන්, ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ පුහුණුකරුවන් හා නිලධාරීන් හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීහු මේ විශේෂ පුහුණු කඳවුර මෙහෙයවූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();