නිරෝෂාන් ප්‍රියංකර ඉන්දුනීසියාවේ ජාකර්තා සිට...
ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර සිට...ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ සිය මංගල තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ඊයේ ලාඕසය පරාජය කරමින් පළමු තරගයෙන්ම ජය අත්කර ගැනීමට සමත් විය.
මේ තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 15ක් රැස්කරගත් අතර ප්‍රතිවාදී ලාඕසයට ලබාගත හැකිවූයේ ලකුණු 10ක් පමණි. ආසියාවේ 7 වැනි ස්ථානයේත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 47 වැනි ස්ථානයේත් පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) තායිලන්තය සමගින් දෙවැනි තරගයට එක්වෙයි. තායිලන්තය ලෝක ශ්‍රේණිගත කිරීම්වල 56වැනි ස්ථානයේ පසුවන කණ්ඩායමයි.
ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් වූ මීටර් 100 නිදහස්ආර සහාය පිහිනුම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ඉවත්වීමට සිදුවිය. ඒ කයිල් අබේසිංහගේ නීති විරෝධි තරග ආරම්භයක් මත තරග නීති උල්ලංඝණය කිරීමෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 3:22.34ක කාලයකින් මේ තරගය නිමකළ අතර තරගයෙන් ඉවත් වීමට නොවූවානම් නව ශ්‍රී ලංකා වාර්තාවක්ද බිහි කරමින් ලෙහෙසියෙන්ම අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාවක් තිබිණි.
මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චෙරන්ත ද සිල්වා සහ අකලංක පීරිස් එක්වූ මේ තරගය ආරම්භ කළ මැතිව් සෙසු ක්‍රීඩකයන් අබිබවා පළමු වටය නිමකළේ තත්පර 49.16කින් පළමු වැනියා ලෙසිනි. අනතුරුව කයිල් අබේසිංහ තරගයට එක්වූ අතර ඔහු දෙවැනියා ලෙසත්, චෙරන්ත හා අකලංක සිවුවැනියන් ලෙසත් තරගය නිම කළද එසැනින් තරග නීති උල්ලංඝණය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් ඉවත් කෙරිණි.
රටවල් 18ක් එක්වූ මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ කාලය අනුව සමස්ත සටහනේ ඉදිරියෙන් සිටියේ රටවල් 5ක් පමණි. යම් හෙයකින් මේ තරගය සාර්ථක වූවානම් පදක්කම් බලාපොරොත්තුවක් තබා ගැනීමට අවස්ථාවක් තිබිණි.
මේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව විනාඩි. 3:22.84කින් පිහිටුවා තිබෙන්නේ මේ ක්‍රීඩකයන් සිවුදෙනා විසින්ම මේ වසරේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව වටයේදීය. එවරද අවසන් මහා තරගයේදී මෙවැනිම සිදුවීමකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් ඉවත් කෙරිණි.
තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මයිකල් ඇරෝන් මහතා ‘දිනමිණ’ ට පැවැසුවේ ක්‍රීඩකයන් එක්ව පුහුණුවීම් කටයුතු සිදු නොකිරීම මෙවැනි දේ සිදුවීමට මූලික හේතුව බවයි.
“තාක්ෂණික වශයෙන් වාර්තා වුණා වැරදි ආරම්භය සිදුවූයේ කයිල් අබේසිංහගෙන් කියලා. මේකට ප්‍රධාන හේතුවක් තමයි ක්‍රීඩකයන් තනි තනිව පුහුණුවීම් කටයුතු සිදු කිරීම. ඔවුන් එකතු වන්නේ මේ වගේ පිළිගත් ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියකදී විතරයි. එවැනි අවස්ථාවක එක්ව පුහුණුවීම් සිදු කිරීම ඉතා වැදගත්. ඒ වගේ අවබෝධයක් නැති වීම මේ වැරදි වලට හේතුවයි.” යැයි පවසා සිටියේය.
එමෙන්ම ඉදිරියේදී මෙවැනි දේ සිදු නොවීමට නම් තරගාවලියට මාස කිහිපයකට පෙර ක්‍රීඩකයන් එක්ව පුහුණුවීම්වල නිරතවිය යුතු යැයිද පැවැසීය.
අකලංක පීරිස් අද (23) මීටර් 50 සමනලආර සහ මීටර් 200 පසුආර මූලික වටයට එක්වන අතර චෙරන්ත ද සිල්වා මී. 50 සමනලආර මූලික වටයටත් අබේසිංහ සොහොයුරන් මීටර් 100 නිදහස්ආර මූලික වටයේ තරගයටත් එක්වෙති.
පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ රිදී පදක්කම්ලාභී ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 69 බර පන්තියෙන් ඊයේ සිය තරගයට එක්වූ අතර ඔහුට එසවීමට හැකිවූයේ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 130ක් පමණි. ක්ලීන් ඇන්ඩ් ජේක් ක්‍රමයේදී අවස්ථා 3ම සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකි විය.
මේ අතර ටයිකොන්ඩෝ ඉසව්වේ කිලෝග්‍රෑම් 63 ට අඩු බර පන්තියෙන් තරග කළ චලින්ද සම්පත් ලියනගේ 32 දෙදෙනාගේ වටයේදී ජපානයේ මසනොජො හොම්මා ලකුණු 21-18කින් පරාජය කරමින් 16 වටයට පිවිසියේය. එහෙත් එම වටයේදී උස්බෙකිස්තානයේ සඩෝර් ටොයිරෝව් හමුවේ ලකුණු 22-6ක් ලෙස පරාජය වීමෙන් තරගයෙන් ඉවත්වීමට සිදුවිය.
ආසියානු ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරග නිමාවට පත්වන අද (23) දිනයේ කිලෝග්‍රෑම් 49 ට අඩු බර පන්තියේ අවසන් 16 දෙනාගේ වටයේදී කුමුදු කල්පනී පාකිස්තානයේ සෙයිඩ් සිඩ්රා සමගින් තරග බිමට පිවිසීමට නියමිතය.
ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායමටද ඊයේ දිනයත් එතරම් යහපත් එකක් නොවූ අතර ඔවුන් දකුණු කොරියාව හමුවේ දෙවැනි පරාජයත් අත්කර ගත්හ. තරගයේ ලකුණු තත්ත්වය වූයේ 8-0කි. හොකී කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන් ජපානය හමුවේ ලකුණු 11-0කින් පරාජයට පත්ව තිබිණි.
මේ අතර පෙරේදා පැවැති කිලෝග්‍රෑම් 53 බර ඉසිලීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට චමරි වර්ණකුලසූරිය සමත්වූයේ ක්ලීන් ඇන්ඩ් ජේක් ක්‍රමයට කිලෝග්‍රෑම් 96ක බරක් ඔසවමිනි. එහෙත් ක්‍රීඩිකාවන් 12ක් එක්වූ සමසත් තරගයෙන් ඇයට හිමිවූයේ 10 වැනි ස්ථානයයි.
බාස්කට්බෝල් 3X3 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ඉන්දුනීසියාව සමගින් ඊයේ රාත්‍රියේ තරග වැදීමට නියමිතව තිබිණි.
ක්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය නිමාවනවිට පදක්කම සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව ඇති අතර ජපානය දෙවැනි ස්ථානයටත්, දකුණු කොරියාව තෙවැනි ස්ථානයටත් පත්ව සිටී. ඉන්දුනීසියාව සහ ඉරානය පිළිවෙළින් සිවුවැනි හා පස්වැනි ස්ථානවල පසුවෙයි.

0 Comments