ගෝල් රකින්නන්ගේ වාසනාව හා අවාසනාව අතර දෝලනය වන දඬුවම් පහරින් ජයග්‍රාහකයා තේරීමේ උද්වේගකර අවස්ථාව නැරැඹීමේ වැඩි ඉඩ කඩක් ක්‍රීඩාලෝලීන්ට ලැබෙන පිළිමළුන් පිටුදැකීමේ වටයේ දී දඬුවම් පහර 3-2කින් ඩෙන්මාර්කය පරාජය කළ ක්‍රොඒෂියාව අවසන් අටදෙනා අතරට එක්වීමට සමත්විය.
ක්‍රොඒෂියානු පිලේ ගෝල් රකින්නා වන ඩැනිජෙල් සුබාසික් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ දඬුවම් පහර 3ක්ම නතර කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
ජයග්‍රාහකයා තේරීමට දඬුවම් පහරේ පිහිට පැතීමට සිදුවූයේ තරගයේ නියමිත කාලය අවසන් වනවිට ගෝල් 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවීම නිසාය. ඊට පෙර තරගයේ අවසන් මොහොතේ ගෝලයක් වාර්තා කිරීමට ලූකා මොඩ්රික්ට අවස්ථාවක් ලැබුණත් ඩෙන්මාර්ක ගෝල් රකින්නා වන කැස්පර් ෂූමිචෙල් අතිදක්ෂ ලෙස එය වැළක්වීය. එසේ නොවුවානම් ක්‍රීඩකයන් දෙගිඩියාවට පත් කරන දඬුවම් පහරේ අවස්ථාවෙන් තොරවම තරගයේ ජය ක්‍රොඒෂියාවට හිමිවීමට ඉඩ තිබිණි.
ක්‍රීඩාලෝලීන් 40,851ක පිරිසක් මැද නිෂ්නි නොව්ගොරෝඩ් පිටියේ පැවැති මේ තරගයේ දඬුවම් පහර අවස්ථාව දෙපිලේහිම ක්‍රීඩාලෝලීන්ගේ හදවත් මොහොතකට නතර කළ එකක් විය.
තරගය ආරම්භ වී තත්පර 57කදී මතායස් ජොර්ගෙන්සෙන් අනගි ගෝලයක් වාර්තා කරමින් ඩෙන්මාර්කය ගෝල 1-0කින් ඉදිරියට ගෙන යාමට සමත්වීම කැපී පෙනුණි. එය වාර්තාපොතට එක්වූයේ ලෝක කුසලාන තරගයකදී දෙවැනි වේගවත්ම ගෝලය ලෙසය. ඊට පෙර 2014දී ඝානා පිලට එරෙහිව තරගය ආරම්භ වී තත්පර 29කින් ගෝලයක් වාර්තා කළ අමෙරිකාවේ ක්ලින්ට් ඩිම්සේ ලෝක කුසලාන තරගයක වේගවත්ම ගෝලයට හිමිකම් කීවේය.
එහෙත් ඊට මිනිත්තු 3කට පසුව මාරියෝ මැන්ඩසුකික් වාර්තා කළ ගෝලයත් සමග තරගය 1-1කින් සමකරගත් ක්‍රොඒෂියාව ඉන් අනතුරුව තරගයේ ජයග්‍රහණය හඹා ගියත් ඩෙන්මාර්කය හමුවේ එය දැඩි අභියෝගයක් බවට පත්විය.
සටහන - ෆවුස් මොහොමඩ්
0 Comments