ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ විශාලතම පෙරළිය සිදුකළ සත්කාරක රුසියාව දඬුවම් පහර 4-3කින් ස්පාඤ්ඤය පරදවා වසර 48කට පසුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්විය.
තරගයේ නියමිත කාලය නිමාවෙද්දී ගෝල 1-1කින් සමවීම හේතුවෙන් දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තෝරාගැනීමේ උද්වේගකර අවස්ථාවෙන් වාසනාවන්තයා බවට පත්වූ රුසියානු ගෝල් රකින්නා වන ඉගෝර් අකින්ෆීව් ස්පාඤ්ඤ ක්‍රීඩකයන් එල්ල කළ ගෝල් 5න් දෙකක්ම වළක්වාලමින් එක් රැයකින් රුසියාවේ වීරයා බවට පත්විය.
මොස්කව් නුවර ලුසින්කි ක්‍රීඩාංගණයට රැස්වූ 78,011ක අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් සාක්ෂිකරුවන් බවට පත්වූ තීරණාත්මක දඬුවම් පහර එල්ල කිරිමේ අවස්ථාවේදී ස්පාඤ්ඤයේ කෝකේගේ සහ ලාගෝ අස්පාස්ගේ පන්දු පහරවල් වළක්වාලීමට අකින්ෆීව් සමත්විය.
මෙවර තරගාවලියේ දුර්වලතම කණ්ඩායම බවට ලජ්ජාසහගත ලේබලයක් අලවා ගනිමින් තරගාවලියට එක්වූ රුසියාව සිය පළමු තරගයේදීම සෞදි අරාබියට එරෙහිව ගෝල 5-0ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් පෙරළිකාර කණ්ඩායම බවට පත්වූයේ තරගාවලිය උඩුයටිකුරු කරවීමේ අනාවැකියක්ද පළ කරමිනි.
වසර 2010දී පාපන්දු ලෝක ශූරයන් බවට පත්වූ ස්පාඤ්ඤය මේ තරගයේදී රුසියාව පරාජය කරනු ඇතැයි පළවූ අනාවැකි සියල්ල බොරු කළ රුසියානු ක්‍රීඩකයන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ලක්ෂ සංඛ්‍යාත රුසියානු පාපන්දු ක්‍රීඩාලෝලීන්ගේ ජයඝෝෂා මැදය.
තරගයේ 12 වැනි මිනිත්තුවේදී රුසියානු ක්‍රීඩක සර්ජි ඉග්නේෂිවිච් වැරැදීමක් තම කණ්ඩායමේ දැල තුලට පන්දුව දමාගැනීම නිසා ගෝල 1-0කින් වේලාසනින්ම පෙරමුණ ගැනීමට ස්පාඤ්ඤය සමත්වූවත් එය දිගටම පවත්වාගෙන යාමට රුසියාව ඉඩ තැබුවේ නැත. 39 හැවිරිදි මේ ප්‍රවීණ ක්‍රීඩකයාගේ අතපසුවීම සිදුවූයේ ස්පාඤ්ඤ ක්‍රීඩක සර්ජියෝ රාමෝස් එල්ල කළ ගෝලය වැළැක්වීමට උත්සාහ ගැනීමේදීය.
එහෙත් 41 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් ආර්ටෙම් ඩිසියුබා තරගය 1-1කින් සමකරමින් රුසියාවට අලුත් බලාපොරොත්තුවක් ඇති කළේය.
දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාවේදී රුසියානු ක්‍රීඩකයන් වන මිකේලොවිච් ස්මෝලොව්, සර්ජි ඉග්නේෂිවිච්, ඇලෙක්සාන්ඩර් ගොලෝවින් සහ ඩෙනිස් චෙරිෂිව් තම අවස්ථා සාර්ථක කරගනිද්දී ස්පාඤ්ඤය වෙනුවෙන් සාර්ථකව ගෝල එල්ල කළේ ඇන්ඩ්‍රිස් අයිනිස්ටා, ජෙරාඩ් පිකුව් සහ සර්ජියෝ රාමෝස් පමණි.
ලබන 7 වැනිදා පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී රුසියාවේ ප්‍රතිවාදියා බවට පත්වූයේ එදිනම පැවැති අනිත් තරගයේ දී ඩෙන්මාර්කයට එරෙහිව දඬුවම් පහර අවස්ථාව 3-2කින් සාර්ථක කරමින් ජයගත් ක්‍රොඒෂියාවය.
0 Comments