පළමු භාගයේදී ලකුණු 17-5කින් පෙරමුණ ගෙන පිට පිට දෙවැනි වරටත් ශූරයන් වීමට මරදාන සාන්ත ජෝශප් විදුහල් පිලට තිබු බලාපොරොත්තුව බිඳ දැමූ බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිල දෙවැනි භාගයේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ලකුණු 22-20ක ජයක් වාර්තා කරමින් වසර 8කට පසුව පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන මයිලෝ ජනාධිපති කුසලානය අත්පත් කරගැනීමට සමත්විය. සාන්ත පීතර විදුහල් පිල ගෝලයක් සහ උත්සාහක දිනුම් 3ක් වාර්තා කළ අතර සාන්ත ජෝශප් විදුහල් පිල ගෝල් 2ක් සහ දඬුවම් පහර 2ක් වාර්තා කළේය.
කොළඹ තුරඟ තරග පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ අවසන් භාගයේදී දෙපිලේහිම ක්‍රීඩකයන් එකපොදියට පන්දුව සමග පොර බඳිමින් සිටියදී උපක්‍රමශීලිව පන්දුව රැගෙන ප්‍රතිවාදී සීමා ඉරට පිවිසි සාන්ත පීතර විදුහල් පිලේ නායක කෙනත් විමලදාස සාන්ත පීතර විදුහලට ජයග්‍රහණය අත්කරදුන්නේය.
තරගයේ ආරම්භයේදීම සංතූෂ් අල්ගම දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 3-0කින් පෙරමුණ ගත් සාන්ත ජෝශප් විදුහල් පිල ඊට මොහොතකට පසුව තරිඳු ද අල්විස් තැබූ අගනා උත්සාහක දිනුමක් අල්ගම විසින් ගෝලයක් බවට පරිවර්තනය කරනු ලැබීමෙන් ලකුණු 10-0කින් ඉදිරියට ගියේය.
අනතුරුව ජුලියන් චාල්ස් සාන්ත පීතර විදුහල් පිලට පළමු උත්සාහක දිනුම ගෙන දුන් අතර එය ගෝලයක් බවට පත් කිරිමට විමලදාස අසමත්විය. ඊට මොහොතකට පසුව ගැමුණු චේතියගේ විශිෂ්ට උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කළ සංතූෂ් සාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 17-5කින් ඉහළට ඔසවා තැබුවේය.
ඉන් නොනැවැතී දෙවැනි භාගයේ ආරම්භයේදීම දඬුවම් පහරක් සාර්ථක කළ අල්ගම සිය කණ්ඩායම ලකුණු 20-5කින් ඉදිරියට ගෙන ගියේ සාන්ත පීතර විදුහල් පිල දැඩි පීඩනයකට හසුකරමිනි.
එහෙත් ඉන් අනතුරුව සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ සාන්ත පීතර විදුහල් පිල තරගයේ පාලනය සියතට ගත්තේ ශෙනොල් සිල්වා තැබූ උත්සාහක දිනුමත් සමගිනි. ඊට මොහොතකට පසුව ජුලියන් චාල්ස් තැබූ තවත් උත්සාහක දිනුමකින් සාන්ත පීතර විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගියේය. එම උත්සාහක දිනුම් 2ම ගෝල බවට පත් කිරිමට අසමත්වූ නායක විමලදාස අවසන් මොහොතේ සිය කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමමින් ඔහු විසින්ම තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කරමින් මේ විශිෂ්ට ජයග්‍රහණයට මං විවර කළේය.

0 Comments