Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අයි.සී.සී.යේ තීරණයට අවනත විය යුතුයි

ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට හසුවී කොදෙව් පිලට එරෙහි තුන්වැනි ටෙස්ට් තරගය තහනම් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් නිර්දෝෂ බව පිළිගනු ලැබුවත් අයි.සී.සී.යේ තීරණයට අවනත වන බව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කළේය.

‘චන්දිමාල් නිර්දෝෂ බව අපි පිළිගන්නවා. නමුත් අයි.සී.සී.ය දඬුවමක් ලබා දී තිබෙනවා. අපි එයට අවනත විය යුතුයි.’ ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොදෙව් ටෙස්ට් තරග සංචාරය නිමා කර ශ්‍රී ලංකා පිල යළි දිවයිනට පැමිණිමෙන් පසුව ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

‘ඒත් ඒ ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පැය දෙකකට ආසන්න කාලයක් පිටියට නොපැමිණීම ගැන කනගාටුවෙනවා. අපි ඉහළින්ම විනය පවත්වාගත යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවේ ජිවගුණය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මෙවැනි සිදුවීම් නැවත නොවිය යුතුයි.’ අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සමග කළමනාකරු අසංක ගුරුසිංහ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ අයි.සී.සී.යේ තහනමට ලක්වී සිටින අතර ඔවුන් සිදුකරන පරීක්ෂණයේ අවසන් තීන්දුව මේ මස 10 වැනිදා ප්‍රකාශ කරනු ඇත. මේ චෝදනාවට අනුව තිදෙනාටම අවම වශයෙන් ටෙස්ට් තරග 2ක තහනමක් පැනැවීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි. එසේ වුවහොත් එළැඹෙන දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී චන්දිමාල්ගේ මෙන්ම ගුරුසිංහ සහ හතුරුසිංහගේ දායකත්වය ශ්‍රී ලංකා පිලට නොලැබෙනු ඇත.

‘පන්දුව පළුදු කිරිමක් අරමුණු කරමින් මම කිසිම දෙයක් කළේ නෑ. ඒක නිසා තමයි මම ඊට එරෙහිව අයි.සී.සී.එකට අභියාචනා කළේ. මම දන්නවා කණ්ඩායම දන්නවා අපි හිතට එකඟව වැරැද්දක් කළේ නෑ කියලා. ඒ නිසයි අභියාචනා කළේ. නමුත් අයි.සී.සී.ය තීන්දුවක් අරන් තියෙනවා මට දඬුවම් කරන්න. ඒක අපිට පාලනය කරන්න බැරි දෙයක්. අපි ඒකට අවනත වෙලා ක්‍රීඩා කරන්න තමයි තියෙන්නේ ක්‍රීඩකයන් විදිහට.’ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු දිනේෂ් චන්දිමාල් කියා සිටියේය.

ශ්‍රී ලංකා පිල පන්දු රැකීම සඳහා පිටියට පැමිණීම ප්‍රමාද වුයේ පන්දුව පළුදු කිරීමේ සිදුවීම හේතුවෙන් බවත්, ඒ මොහොතේ ක්‍රිකට් නීතිය පිළිබඳ අවධානයක් යොමු නොවූ බවත් ශ්‍රී ලංකා පිලේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා කියා සිටියේය.

‘මොනව වුණත් අපි පිටියට යා යුතුව තිබුණා.’ ඔහු කීවේය.

‘අයි.සී.සී.යට අභියාචනාවක් ඉදිරිපත් කරමින් මේ තහනම ලිහිල් කරගැනීමයි අපේ බලාපොරොත්තුව. අපිට නායකයා සහ ප්‍රධාන පුහුණුකරුවා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගමාලාවට අවශ්‍යයි.’ ඔහු සඳහන් කළේය.

 

ඡායාරූපය - චින්තක කුමාරසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();