Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රීඩා සංගම්වලට එරෙහි පැමිණිලි විමර්ශනයට සිවු පුද්ගල කමිටුවක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

සංවර්ධන දෙපාර්තමේන්තුව නඩු ඇසීමෙන් ඉවත් කරයි

ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට එරෙහි පැමිණිලි විභාග කිරීමට හා සියලුම විනය විරෝධී කටයුතු විමර්ශනයට වෙනම විශේෂ සිවු පුද්ගල කමිටුවක් ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පත්කරයි. ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදේශක පී. කොඩිතුවක්කු මහතාගේ සභාපතිතත්වයෙන් පත්කොට ඇති කමිටුවට ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ සභාපති සමන් අමරසිංහ, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් හා ක්‍රීඩා අමාත්‍යාංශ නීති නිලධාරී ශිරෝමී රණවක යන මහත්ම මහත්මීහු පත්ව සිටිති.

මෙතෙක් ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට එරෙහි පැමිණිලි විභාග කිරීම හා සියලුම විනය විරෝධී කටයුතු විමර්ශනය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්. බී. වික්‍රමසිංහ මහතා ඇතුළු කමිටුවක් යටතේ සිදු කෙරුණු අතර අද සිට එම පරීක්ෂණ නව කමිටුව මගින් පමණක් සිදු කරන ලෙස ඇමැති නියෝගය වේ.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හැර ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් වෙනත් දෙපාර්තමේන්තුවල නිලධාරීන් පිරිසක් මේ සිවු පුද්ගල කමිටුවට පත් කිරීම විශේෂත්වයකි. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රීඩා සංගම් පාලනය කිරීම හා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදුකරද්දී ක්‍රීඩා සංගම් නිලධාරීන්ට එරෙහි පරීක්ෂණ පැවැත්වීම සදාචාරාත්මක නොවන බවට ඇමැතිවරයාට ලැබුණු පැමිණිලි සලකා බලා මේ නව කමිටුව පත්කර ඇත. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ක්‍රීඩා සංගම් 40කට ආසන්න පැමිණිලි ලැබී ඇති අතර එම සියලු විමර්ශන නව කමිටුව යටතේ සිදු කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා වුෂූ සංගමයට එරෙහිව ගොණුවී ඇති විරෝධතා විභාග කොට විනය කඩිවීම් හෝ මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇත් ද යන්න සොයා බලා සති දෙකක් තුළ නිර්දේශ ලබා දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මහතා විසින් තවත් සිවු පුද්ගල කමිටුවක් පත්කොට ඇති අතර එම කමිටුව මේ දිනවල පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂි සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේම තවත් නිලධාරියකු ඇතුළු කමිටුවක් වසර දෙකක් තිස්සේ කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙයට මාස කිහිපයකට පෙර වූෂූ සංගමයට එරෙහි චෝදනා පරීක්ෂා කොට වාර්තාවක් සපයා ඇති අතර ඒ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බැවින් මේ නව කමිටුව යටතේ නැවැත විමර්ශන කටයුතු සිදු කිරීමට තීරණය වී තිබේ.

වූෂූ සංගමයේ නිලධාරීන් කිහිප දෙනකුට එල්ලවී ඇති මූල්‍ය චෝදනාවලට අමතරව වූෂූ නිලවරණය නිසි පරිදි නොපැවැත්වීම, නීති විරෝධී විධායක සභාවක් පවත්වා යෑම හා වූෂූ තරගාවලි, වැඩමුලු මුවාවෙන් පුද්ගලයන් විදෙස් රටවලට රැගෙන යෑම වැනි කරුණු සොයා බැලීම මේ කමිටුව මගින් සිදු කෙරේ. වූෂූ සංගමයේ හිටපු උප සභාපති ජගත් කල්දේරා මහතා පවසන්නේ මේ නව කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි බවයි.

වූෂූ සංගමයට එරෙහි චෝදනා පරීක්ෂා කිරීමට පත්කළ කමිටුවේ ප්‍රධානියා ලෙස ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ සභාපති සමන් අමරසිංහ, සාමාජිකයන් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන නිලධාරී එච්. ඒ. ඩබිලිව්. අබේකුමාර, ප්‍රධාන ගණකාධිකාරී රේනුකා බ්ලෝක් හා අමාත්‍යාංශ නීති නිලධාරී ශිරෝමී රණවක යන මහත්ම මහත්මීහු පත්කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();