ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශය තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට චීන ආයෝජකයින්ගේ අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා අවස්ථාවන් ඇති පිළිබඳව චීනයේ ග්වැන්ග්ඩොන්ග් හි ඇගිලිටි සමූහ ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් සමඟ
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (10) පැවැති සාකච්ඡාවක දී මේ බව හෙළි වී ඇත.
ශ්‍රී ලංකාවේ ගොවීන් විසින් නිපදවන පලතුරු,එළවළු ආදී ඉක්මනින් නරක් වෙන සුළු ද්‍රව්‍ය කල් තබා ගැනීම, පසු අස්වනු නාස්තිය වැළැක්වීම,එළවළු සහ පළතුරු කල්තබා ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ශීතාගාර පහසුකම් ඇති කිරීම, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ කෘෂි යන්ත්‍රෝපකරණ නිපදවීම සහ කාබනික පොහොර නිපදවීම සඳහා අවස්ථා ඇති කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ විය.
ඒ අනුව එම කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙරට කෘෂි අංශය තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට චීනයේ ග්වැන්ග්ඩොන්ග් හි ඇගිලිටි ආයතනයේ නියෝජිත පිරිස එකඟතාව පළ කළහ. මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් ඉදිරිපත් කරන යෝජනා මෙරටට ඇති වැදගත්කම සලකා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
කාබනික පොහොර යොදා ගනිමින් කෙරෙන වී වගාව සඳහා දේශීය වෙළඳ පොළ තුළ ඉහළ ඉල්ලුමක් ඇති බව අවධාරණය කළ අමාත්‍යවරයා එයට හේතුව වී ඇත්තේ කාබනික වගාව මඟින් කෙරෙන්නේ අප රටේ සාම්ප්‍රදායික වී වර්ග වගා කිරීම බවත් කීය.
එම සහල් ආහාරයට ගැනීමෙන් වර්තමානයේ වර්ධනය වෙමින් පවතින දැඩි අර්බුදයක් වන දියවැඩියාව, පිළිකාව වැනි ඇතැම් බෝ නොවන රෝග පවා වළක්වා ගැනීමේ හැකියාවක් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.
දේශීය පලතුරු ඉතාමත් ඉහළ පෝෂ්‍යදායී ගුණයෙන් යුක්ත වන බැවින් ඒවා පරිභෝජනයට ජනතාව පෙළඹවීම හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ අවස්ථාවන් ඇති කර ගැනීම කෙරෙහි ද අමාත්‍යවරයාගේ අවධානය යොමුව පවතින බවත් කීය.
අප රටේ කෘෂි භෝග රට තුළ පරිභෝජනයට මෙන්ම අපනයන ආදායම ඉහළ නැංවිම ඉලක්ක කර ගනිමින් වගා කිරීමට ගොවි ජනතාව පෙළඹවීම රජයේ අරමුණ බවත් ඒ සඳහා චීනය වැනි තාක්ෂණය ඉහළ මට්ටමක පවතින රටවල සහයෝගය ලබා ගැනීමට තමන් අපේක්ෂා කරන බවද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසීය.
0 Comments