සෞඛ්‍ය ඇමැතිවරයෙක් රටේ ජනාධිපතිවරයා වී සිටීම නිසා හෙද අයිතිවාසිකම් ඇතුළු සෞඛ්‍ය සේවාවේ වෘත්තීය අයිතිවාසිකම් රැසක් ජයග්‍රහණය කරවමින් සේවකයින්ට ලබාදීමට හැකි වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
හෙද සේවාව තුළ තිබෙන සංගම් වාද භේදයෙන් තොරව එක්ව සටන් කිරීමට කටයුතු කරන්නේ නම් ඉතා පහසුවෙන් අයිතිවාසිකම් ජයග්‍රහණය කළ හැකි බවත් හෙද සේවාව හොඳට තිබෙන්නේ නම් සෞඛ්‍ය සේවාව දියුණුවෙන් දියුණුවට පත් වන බවත් ඇමැතිවරයා පැවැසුවේය.
ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංවිධානය කළ උත්සවයට සහභාගි වෙමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි ඇමැතිවරයා (10) දා මේ බව ප්‍රකාශ කළේය. ෆ්ලොරෙන්ස් නයිටිංගේල් සමරු කලාපය රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනැමීම ද මෙහිදී සිදුකෙරිණි.
ඇමැතිවරයා මෙසේද පැවැසුවේය.
හෙද සේවාව ආරම්භ කළ ෆ්ලොරෙන්ස් නයිටිංගේල් මහත්මියගේ උපන් දිනය සමරමින් ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සිදු කරනවා. ජාත්‍යන්තර හෙද දිනය සැමරීම මේ මස 12 වැනිදාට යෙදී තිබෙනවා. ඇයට ලෝකයේම ජනතාව ගරු කරනවා. එදා බටහිර හෙද සේවයක් තිබුණේ නැහැ. සමහර රෝහල්වල, නිවාසවල සාත්තු සේවාවක් තමයි තිබුණේ. හෙද හෙදියන් කියලා කොටසක් සිටියේ නැහැ. එවැනි කාලයක තමයි නයිටිංගේල් මහත්මිය රෝගීන් රැක බලා ගැනීමේ මෙහෙයක නිරත වූවේ. මෙසේ ආරම්භ වූ සාත්තු සේවාව වැඩිදියුණු වී අද වන විට හෙද සේවාව බවට පත්ව තිබෙනවා. ආගමකට, ජාතියකට, වර්ගයකට යටත් නොවූ සාත්තු සේවාවක් ලබාදීම තමයි නයිටිංගේල් මහත්මියගේ මූලිකම සිද්ධාන්තය වුණේ. කිසිදු වාද භේදයකින් තොරව සැමට සමාන සේවාවක් ලබාදීමට ඇය කටයුතු කළා. ආගම, වර්ගය, කුලය මතු කරමින් කතා කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් තීන්දු ගැනීමට නොහැකි වන ලෙස ඇතැම් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නීති පනවා තිබෙනවා. අපේ රටේ මේ තත්ත්වය ස්ථාපිත කරන්නට ගියහොත් විශාල කලබලයක් ඇති වෙනවා. ඒ තත්ත්වය ස්ථාපිත කරන්නට හදන පුද්ගලයා දේශද්‍රෝහියෙක් බවට පත් වෙනවා. නයිටිංගේල් මහත්මිය ලෝකය තුළ ස්ථාපිත කළ සිද්ධාන්තය අනුව වාදභේදයෙන් තොර රටක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුයි. වංශාධිපති පවුලක ඉපැද එතුමිය කළ සේවය නිසා සමස්ත සමාජයම වෙනස් වුණා. එතැනින් පසුව තමයි වංශාධිපති පවුල්වල කාන්තාවන් පවා හෙද සේවාවට එක් වුණේ.
අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ආරම්භය වසර දහදාහකට එහා ගිය එකක්. මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය තුළත් හෙද සේවාව පැවැතුණා. එය වසර තුන්හාර දාහකට එහා ගිය එකක්. පොළොන්නරු, අනුරාධපුර රාජධානිවල පැවැති රෝහල්වල එක රෝගියකුට එක හෙදියක් බැඟින් එදා සිටියා. ඒ තරම් දියුණු හෙද සේවාවක් මෙරට එකල තිබුණා. අපේ රටේ තිබුණු එවැනි දියුණු හෙද සේවාවක් මෙතෙක් ලෝකයේ කිසිදු රටක වාර්තා වී නැහැ. වෛද්‍ය සේවය වගේම හෙද සේවාවත් උත්තරීතරයි. වෛද්‍යවරයා සැත්කමක් හෝ වෙනත් ප්‍රතිකාරයක් කිරීමෙන් පසුව ඊළඟ පැය 24 පුරාම රෝගියා බලා ගනුයේ හෙදිය. ඒ නිසා වෛද්‍යවරයා හා දැනුමක්ම හෙදියට තිබිය යුතුයි. දියුණු රටවල වාට්ටුවල ඇවිදිනුයේ වෛද්‍යවරයා හා හෙදිය කියන දෙදෙනාම එක්වයි. දෙදෙනාම රෝගීන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. වෙද හෙදකම කියන දෙය එකට යන දෙයක්. හෙදකම සේවාවක් වගේම පුන්‍ය කර්මයක්. හැම රෝගියෙක් කෙරෙහිම අවධානයෙන් සිට හෙද රාජකාරිය හරියට කළොත් රැස් වන පින මෙතෙකැයි කියලා කිව නොහැකියි. අතිකාල දීමනා, දුරකථන දීමනා ඇතුළු සියලු දීමනාවන් සමඟ හෙද හෙදියන්ට නොමිලේ දීමනාවකුත් ලැබෙනවා. ඒ තමා පින කියන දීමනාව. වෙනත් සේවාවන්ට නොලැබෙන දීමනාවක් එය. මේ දීමනාව ලබා ගන්නට සත්‍යග්‍රහ, උද්ඝෝෂණ කරන්නට අවශ්‍ය නැහැ. ඉබේටම ලැබෙනවා.
හෙද වෘත්තියේ අයිතිවාසිකම් දිනා ගත නොහැකි අවස්ථාවක මේ සංගමය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කළා. 88, 89 කාලයේ උන්වහන්සේට හිරබත් කන්න පවා සිද්ධ වුණා. හාමුදුරුවන්ගේ යාළුවෙක් විදියට වෘත්තීය සංගම් ඉල්ලීම් ලබා ගැනීමට මමත් ඇතැම් අවස්ථාවලදි සහාය දුන්නා. හිරගෙදර සිටින විට බත් පැකැට් එක මම ගිහිං දුන්නා. අපි දෙන්නා සටන් මාර්ග දෙකක ගියත් මිතුරුකම තබා ගත්තා. තවත් අය අපිත් සමඟ සටනට හිටියා. අපිට ඒ අය අමතක කරන්නත් බැහැ. මොකද ඒ කාලයේ සටන්වලට එකට හිටියානේ. වාහනයක් පාර මැද යනවා වගේ තමයි ජනාධිපතිවරයාත් මමත් කටයුතු කරන්නේ. හෙද සංගම් දෙකේම අයට අපට සලකන්න අවශ්‍යයි. නයිටිංගේල් මහත්මියගේ නාමයෙන් මේ කණ්ඩායම් දෙක එකතු විය යුතුයි. එසේ එක් කිරීම කෙරෙහි මම මේ වසරේදි අවධානය යොමු කරනවා. හාමුදුරුවෝ මං ගැන මොනවා හිතාගෙන හිටියත් දැන් නම් ටිකක් හිත හොඳයි. හාමුදුරුවන්ව ජ්‍යෙෂ්ඨ විදියට තබා මේ සංගම් දෙක එකතු කළ යුතුයි. එය අපේ පැත්තට අවාසි. මොකද මේ දෙගොල්ලම එතකොට එක්ව පාලකයන් වන අපිට විරුද්ධව නැඟී සිටියි. ඒත් කමක් නැහැ. හෙද සේවයට එමඟින සිදු වන්නේ යහපතක්. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ අපි වෘත්තීය සංගම් ඉල්ලීම් ඉල්ලුවා. නමුත් විශාල සටනක් අපට කරන්න වුණා. තර්ජන ගර්ජන බොහෝ තිබුණා. ඒවාට අපි බය වුණේ නැහැ. අද තිබෙන්නේ යහපාලන ආණ්ඩුවක්. එදා වෘත්තීය සමිති නායකයෙක් විදියට සිටි මම අද වෘත්තීය සමිති ඉල්ලීම් ලබාදීමට හැකි ඇමැතිවරයෙක් විදියට කටයුතු කරනවා. මම ඉතාම සාධාරණව වෘත්තීය සමිති ඉල්ලීම් දෙස බලා ඒවා කොහොම හරි ලබාදෙන්න උත්සාහ කරනවා. කිසිදු වෘත්තීය සමිතියක් සමඟ මම අමනාපයෙන් කටයුතු කරන්නේ නැහැ. යහපාලන ආණ්ඩුව යටතේ මේ වන විට හෙද පීඨයක් ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තරව පිළි ගන්නා හෙද උපාධියක් ලබාදීම මඟින් මෙරටට අතිරික්ත වන හෙද සේවාව පිටරටවලට පවා යැවිය හැකියි. ඒ සඳහා දැන්මම ඉල්ලුමක් තිබෙනවා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය රටවලට මේ වන විට හෙද සේවාව අවශ්‍ය සේවාවක් වී තිබෙනවා.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
හෙද සේවාවේ මව්තුමිය වන ෆ්ලොරෙන්ස් නයිටිංගේල් මහත්මිය අනුස්මරණය කරමින් අපි වාර්ෂිකව ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සිදු කරනවා. සාත්තු සේවාව උතුම් සේවාවක් විදියට ඇය හඳුන්වා දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේද ගිලනුන්ට උපස්ථාන කිරීම උතුම් බව දේශනා කළා. උන්වහන්සේ ඒ බව ක්‍රියාවෙන් ද ඔප්පු කළා. කරුණාව, දයාව කියන ගුණාංග හෙදියක් තුළ තිබිය යුතුයි. නමුත් අද වන විට හෙදියන් අතර පමණක් නොව සමස්ත සමාජය තුළින්ම මේ ගුණාංග පළා ගොස් ඇති බවක් දක්නට ලැබෙනවා. කරුණාව, දයාව, මෛත්‍රිය මිනිසුන් අතරින් ඈත් වන්නට දෙන්න හොඳ නැහැ. එවිට සමාජයේ පැවැත්ම අස්ථාවර වෙනවා. ක්‍රෝධය, ද්වේශය, වෛරය අප අතරින් පළවා හැරිය යුතුයි. ධම්ම පදයේ දණ්ඩ වග්ගය තුළ එය මනාවට පැහැදිලි කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ මාර්ගය තුළ අපි ගමන් කළ යුතුයි. ඇතැම් හෙද විදුහල්පතිනියන් අතරත් වෛරය, ක්‍රෝධය තිබෙනවා. ඒවා ඉවත් කළ යුතුයි. නොඑසේ නම් හෙද විදුහල්වලින් හොඳ ගුණයන්ගෙන් යුක්ත හෙද පරපුරක් රටට දායාද කරන්නට අපහසුයි. 1966 වසරේ සිට රාජිත ඇමැතිතුමා මගේ හොඳ මිත්‍රයෙක්. ඒ වගේම ජනාධිපතිතුමාත් මගේ හොඳ මිත්‍රයෙක්. අපේ හෙද අයිතිවාසිකම් ලබා දීමට ඔවුන් දෙදෙනා කටයුතු කරනු ඇතැයි කියලා මම විශ්වාස කරනවා.
මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහත්වරුන් ඇතුළු හෙද හෙදියන් විශාල පිරිසක් සහභාගි වූහ.
0 Comments