දුගී බවින් පීඩා විඳින ළමුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීම ඔවුන් ගේ අධ්‍යාපනයට ඍජුව බලපාන බව බ්‍රිතාන්‍යයේ බ්‍රයිටන් නුවර පැවති ජාතික අධ්‍යාපන වෘත්තීය සමිති සමුළුවේ දී අනාවරණය වෙයි. ඊට ප්‍රතිචාර දක්වන බ්‍රිතාන්‍ය රජය පවසන්නේ දුගී බව තුරන් කිරීම සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
දුගී පවුල්වලට අයත් සමහර සිසුන් ඉතා සිහින් සිරුරක් සහ දුර්වල දත් දෙපළකට හිමිකම් කියන අතර ඔවුන්ගේ සම සුදුමැලි වී ඇති බව ද එංගලන්තය සහ වේල්සයේ ඇතැම් ප්‍රදේශවල ප්‍රාථමික පාසල් ප්‍රධානීහු මෙහිදී පැවසූහ. මන්දපෝෂණය නිසා සම අඳුරු පැහැයට හැරුණ සිසුන් පාසල් ආපනශාලාවෙන් ලබා දෙන ආහාරවලින් සාක්කු පුරවා ගන්නා බව පාසල්වල විදුහල්පතිවරු වැඩි දුරටත් අනාවරණය කෙළේය.
ආහාර හිගකම පමණක් නොව දුගී බව නිසා බොහෝ පීඩාවන්ට පක්වූ සිසුන් පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු වූ අතර නොමිලේ ආහාර පාර්සල්, ඇඳුම්, සපත්තු සහ ශීත කබාය ලබා දෙන 'ආහාර බැංකු' සමහර පාසල් වල ස්ථාපිත කර ඇති බව පාසල් ප්‍රධානීන් පැවසීය.

0 Comments