Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පදක්කම් 3ක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව අද ගෝල්ඩ් කොස්ට් බොක්සිං වළල්ලට

 ෙපොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 3ක් බලාපොරොත්තු විය හැකි තවත් දිනයක් උදා වෙයි. පිරිමි කිලෝග්‍රෑම් 46- 49 බර පන්තියෙන් තිවංක රණසිංහ, පිරිමි කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් දිනිඳු සපරමාදූ හා කාන්තා කිලෝග්‍රෑම් 57 බර පන්තියෙන් කේෂාණී හංසිකා ඔක්සන්ෆෝඩ් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ බොක්සිං වළල්ලේදී තරග බිමට පිවිසෙති.

මේ තිදෙනාම බොක්සිං අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලට ඉදිරිපත්වන අතර එයින් ජය ගතහොත් අනිවාර්යයෙන්ම ලෝකඩ පදක්කම් සතුකර ගැනීමේ අවස් ථාව උදාවනු ඇත. තිවංක රණසිංහ, වනුආටා ක්‍රීඩක 19 හැවිරිදි බේරී නමාරීට එරෙහිව සටන් කරන අතර දිනිඳු සපරමාදූ නැමීබියාවේ 24 හැවිරිදි ජෝන් ජොනාස් සමග සටනට පිවිසේ. ජෝන් ජොනාස් 2014 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනාගත් ක්‍රීඩකයා වුවද, ඔහු පරාජයට පත්කොට පදක්කමක් දිනා ගන්නා බව දිනිඳු සපරමාදූ ‘දිනමිණ‘ ට පැවැසීය.

වසර 2014දී ග්ලාස්ගෝව් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් බොක්සිං ක්‍රීඩිකාවන් 16 අතරට පිවිසි 26 හැවිරිදි කේෂාණීට අද හමුවන්නේ ඒ හා සමාන දස්කම් දැක්වූ 34 හැවිරිදි නවසීලන්ත ක්‍රීඩිකා ඇලෙක්ස් ප්‍රිට්චාර්ඩ් වේ. මෙම බර පන්තියේ කණ්ඩායම් 16 අතර තරග වටයේදී කේෂාණී නිතරග ජයක් ලබා අද පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට වාසනාවන්ත වූවාය.

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙතෙක් සහභාගීවූ සියලු තරග ජයගෙන ඉහළ මානසිකත්වයක සිටින අතර ඊයේ පැවැති කිලෝග්‍රෑම් 52 පිරිමි බොක්සිං තරගයේදී ඉෂාන් බණ්ඩාර නාවූරූ රාජ්‍යයේ යාචෙන් කොක් පරදවා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ඉෂාන්ට ජය හිමි වූයේ 3:2ක් වශයෙනි. ඉෂාන් බණ්ඩාර හෙට ලෙසෝතෝ හී 19 හැවිරිදි මොලීෆ් තාබෝ සමග තරගයට සූදානම් වේ.

මලල ක්‍රීඩා තරග ඊයේ කැරාරා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ අතර, එහිදී සුදුසුකම් ලැබීමේ තරගයෙන් උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර සාර්ථකත්වයට පත්විය. මංජුල කුමාර මීටර් 2.18ක් උස පැනීමේදී එක්වරක් අසාර්ථක වූවද, පසුව සුපුරුදු රිද්මයට පැමිණ මීටර් 2.21ක දක්ෂතාවකින් අවසන් තරගයට සුදුසුකම් සපුරා ගත්තේය. තරගයෙන් අනතුරුව ඔහු සඳහන් කළේ පසුගිය දිනවල ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම් සිදු කරද්දී සිඩ්නි හී පැවැති පුහුණු තරගයකට සහභාගීවීමෙන් පාදයේ ආබාධයක් ඇති වුවද අවසන් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිමය ඉටු කරන බවයි. උස පැනීමේ තරගයේ අවසන් තරගයට ඔලිම්පික් පදක්කම් දිනූ ක්‍රීඩකයෙකු හා පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම හිමිකර ගත් ක්‍රීඩකයන් දෙදනකු සුදුසුකම ලබා තිබීම තරගය උණුසුම් ස්වරූපයක් ගැනීමට හේතුවක් වනු ඇත.

ශ්‍රී ලංකාවෙන් අද දින මීටර් 200 ක්‍රීඩිකා රුමේෂිකා රත්නායක හා දුර පැනීමේ ක්‍රීඩක ජානක ප්‍රසාද් විමලසිරි සුදුසුකම් ලැබීමේ තරගවලට පිවිසෙති. මෙයට අමතරව බැඩ්මින්ටන් හා ටේබල් ටෙනිස් ඒකළ තරග අද පැවැත්වේ.

පිහිනුම් ක්‍රීඩාවේ දිනෙන් දින ඉදිරියට යන මැතිව් අබේසිංහ මීටර් 50 නිදහස් ආර තරගය තත්පර 22.65කින් නිමකොට නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීම විශේෂත්වයකි. පසුගිය වසරේ කොළඹදී පැවැති දකුණු ආසියා පිහිනුම් ශූරතාවලියේදී තත්පර 23. 22කින් ඔහු විසින්ම තබා තිබූ ශ්‍රී ලංකා වාර්තාව ඊයේ මකා දැමුවේය. මැතිව් එම මූලික වටයේ තරගයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් 18කින් 13වැනි ස්ථානයට පත්ව සිටී.

එම මූලික වටයට සහභාගී වූ මැතිව්ගේ සොහොයුරු කයිල් අබේසිංහ තත්පර 23. 73ක කාලයක් වාර්තා කොට මූලික වටයේ ක්‍රීඩකයන් 45කින් 27වැනි ස්ථානයට හා චෙරන්ත ද සිල්වා තත්පර 24. 36ක කාලයකින් 36වැනි ස්ථානයට පත්විය. මීටර් 50 පසුපස ආර කාන්තා තරගයේදී විනෝලී කලුආරච්චි තත්පර 31. 02 කින් ක්‍රීඩිකාවන් 30ක් අතුරින් 24වැනි ස්ථානයට පත්වූ අතර මීටර් 200 පසුපස ආර මූලික වටයේ තරගයේදී අකලංක පීරිස් විනාඩි 2: 11. 56කින් 20වැනි ස්ථානයට පත් විය.

මීටර් 10 වායු පිස්තෝල පිරිමි සුදුසුකම් ලැබීමේ තරගයේදී දිනේෂ් සුරංග ලකුණු 563ක් ලබා 9වැනි ස්ථානයට පත්වූ අතර ක්‍රීඩකයන් 24කින් අවසන් වටයට 8ක් තෝරා ගත් බැවින් දිනේෂ්ගේ බලාපොරොත්තු සුන්විය. එම කාන්තා තරගයේදි සදුනි පෙරේරා ලකුණු 404.2ක් ලබා ක්‍රීඩිකාවන් 18කින් 15වැනි ස්ථානයට පත් වූවාය.

බර ඉසිලීමේ පිරිමි කිලෝග්‍රෑම් 105 බර පන්තියට සහභාගී වූ සමන් අබේවික්‍රම ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 130ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 160ක් ඔසවා 9වැන් ස්ථානයට පත්විය.

පිට පිට තුන්වැනි තරගයත් පරාජය වූ බීච් වොලිබෝල් කන්ඩායමේ අසංක ප්‍රදීප් හා මලින්ත යාපා ඊයේ සහභාගීවූ සියෝරා ලියොන් පිලට එරෙහි තරගයෙන් 2-0ක පරාජයක් ලැබුණි. 

ප්‍රින්ස් ගුණසේකර
ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් සිට...

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();