Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජූලම්පිටියේ ඤාණරතන නාහිමිගේ අපවත්වීම බුදු සසුනේ ඉදිරි ගමනට දැවැන්ත රික්තකයක් නිර්මාණය කළා

ආදාහන පූජෝත්සවයට ශෝක පණිවිඩයක් එවමින් ජනපති කියයි

භාරතයේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ මහාවිහාරාධිපති, භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ජූලම්පිටියේ ඤාණරතන නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයේ ප්‍රගමනය විෂයෙහි දැවැන්ත රික්තයක් නිර්මාණය කරනු ලබන බව සාතිශය සංවේගයෙන් ප්‍රකාශ කරන බව ඤාණරතන නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට ශෝක පණිවිඩයක් එවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඤාණරතන හිමියන්ගේ ශ්‍රී දේහය කිරින්ද පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ පුරා දින තුනක් තැන්පත් කර තිබීමෙන් අනතුරුව ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ආදාහන පූජෝත්සවය සිදු කෙරිණි. ආදාහන පූජෝත්සවය පසුගිය දා පැවති අවස්ථාවේ මේ පණිවිඩය ප්‍රකාශයට පත්කරන ලද්දේ මාතර දිසාපති ප්‍රදීප් රත්නායක මහතා විසිනි.

එහි මෙසේ ද සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ දිවමන්ව වැඩහුන් භූමියේ වැඩ වෙසෙමින් වත්මන් භාරතීය බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කැපවූ අප පින්වත් නාහිමිපාණන් වහන්සේ නූතන සඟ සසුන ස්වකීය පාණ්ඩිත්‍යයෙන් බැබළ වූ සංඝ පීතෘවරයෙකි.

සොළොස්වන වියේදී පැවිදි දිවියට පත්ව මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙන, පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන , විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය, ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලය, බරණැස හින්දු විශ්වවිද්‍යාලය, ඔස්සේ සිය ප්‍රඥා පාරමිතා පූර්ණය කළ නාහිමිපාණන් වහන්සේ රාජකිය පණ්ඩිත සහ චීන හා හින්දු භාෂා උපාධිධාරීව බරණැස හින්දු විශ්ව විද්‍යාලයෙන් සහ ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්හ.

ආනන්ද බෝධි සමාගමේ සභාපති ධූරය ද සිසුන් 2500කින් සමන්විත සංකස්සපුර විජේසෝම මහා විද්‍යාලයේ ප්‍රධානත්වය ද ඉසිලූ ආචාර්ය ජූලම්පිටියේ ඤාණරතන නාහිමිපාණන් වහන්සේ බුදුදහම බිහි කළ දඹදිවට දහම් දෙසූ යතින්ද්‍රයාණන් වහන්සේ නමකි. එවන් වියත්, ගුණවත්, සිල්වත් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමකගේ අපවත්වීම නිසැකවම සමස්ත බෞද්ධ ජනතාවගේ දැඩි සංවේගය පිණිස හේතු වන බව දනිමි. දෛවයෙන් පැවරුණු සිය යුතුකම සහ වගකීම මැනවින් ඉටුකර අපවත් වී වදාළ ආචාර්ය ජූලම්පිටියේ ඤාණරතන නාහිමිපාණන් වහන්සේට සසර මග අවසන අමාමහ නිර්වාණ සම්පත්තිය අත්වේවායි නමස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමි.

ජනාධිපතිගේ ශෝක පණිවිඩයට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාත් , අසනීපව විදේශගතව සිටින විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාත් අපවත් වී වදාළ නාහිමියන් වෙනුවෙන් ශෝක පණිවිඩ එවා තිබුණි.

මෙහිදී අනුශාසනාවක් කළ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහා නායක රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති අග්ගමහා පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියෝ මෙසේ පැවසුහ.

සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය රදා පවතින්නේ උගත් වියත් බහුශ්‍රැත මහා සංඝරත්නයේ ආශිර්වාදයත් සමඟයි. එහිදී අපවත්වී වදාළ ඤාණරතන නාහිමියන්ගෙන් වූ උදාර ශාසනික සේවාව අපේ රටට පමණක් නොව ජාත්‍යන්තරය දක්වාත් ව්‍යාප්ත වී තිබුණා. කිරින්ද පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයෙන් ඇරැඹුණු ඒ හිමියන්ගේ ශාසනික ගමන නිමාවට පත්වූයේ භාරතයේ සංඝනායක පදවියට ද පත්ව ශාසනික සේවාව වඩවඩාත් පුළුල්ව පැවති අවස්ථාවකයි.

භාරතයේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ විහාරාධිපතිව වැඩ සිට ශ්‍රී ලංකාවේදී අපවත්වී වදාළ ඤාණරතන නාහිමියන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය පහමුනේ ශ්‍රී සුමංගල ශාස්ත්‍රපති බෝවල සෝභිත ඕමල්පේ සෝභිත හා කිරින්ද පූර්වාරාම පිරිවෙන් විහාරාධිපති ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක අපරැක්කේ හිමරතන නාහිමිවරුන් ඇතුළු තවත් ගිහි පැවිදි කිහිප දෙනෙක් ද මෙහිදී කතා කළහ.

 හක්මන විශේෂ- ආර්. පීරිස් හා දෙයියන්දර සමූහ, කිරින්ද පුහුල්වැල්ල සමූහ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();