වැලමිටියාවේ කුසලධම්ම නාහිමි
වෙසක් පොහොයට කිසිම තහනමක් පනවා නැහැ. සිදුකර තිබෙන්නේ බාල තරුණ වැඩිහිටි සියලු දෙනාම ප්‍රතිපත්ති පූජාවට සම්බන්ධ කරගෙන ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් දෙමින් කටයුතු කරන ලෙසට ඉල්ලීමක් . ඒ පිළිබඳව බෞද්ධ ජනතාව දැනුවත් විය යුතුයයි කොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසුවේ ගම්පහ දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමේදීය.
ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මුලාසනය ගෙන තවදුරටත් කතා කළ වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ මෙසේද පැවසූහ.
බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිය දී පවා ප්‍රතිපත්ති පූජාවේ වටිනාකම දේශනාකර තිබෙනවා. වෙසක් පොහොය බුදුරජාණන්වහන්සේගේ තෙමඟුල සිදුවූ පොහොයයි. ශ්‍රී ලංකාවේ බෞද්ධයින්ට පමණක් නොව ලෝකවාසී සියලු බෞද්ධයින්ටද එකසේ වැදගත් වෙනවා. වෙසක් පොහොය නිමිත්තෙන් ‘වෙසක් සතියක්ම’ ක්‍රියාත්මක වෙනවා. වෙසක් පොහොය යෙදී තිබෙන පළමු දිනයේ සැරසිලි ඇතුළු ආමිස පූජාවන්ට බොහෝ බාල තරුණ වැඩිහිටි පිරිස් යෙදෙනවා හැරෙන්නට සීල භාවනා ඇතුළු ප්‍රතිපත්ති පූජාවන්ට යොමු වන්නේ ඉතා සුළු පිරිසක්. වැඩිහිටි මහළු අය තමයි ශීල භාවනා වැනි ප්‍රතිපත්ති පූජාවන්ට සහභාගිවන්නේ. ඒක ලොකු අඩුවක්.
බුදුන්වහන්සේගේ ධර්මයේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන අපේ බාල තරුණ වැඩිහිටි සෑම දෙනෙක්ම ප්‍රතිපත්ති පූජාවන්ට සහභාගි කරගැනීමේ අරමුණින් තමයි යම් යම් තීරණ ගෙන තිබෙන්නේ. එය හොඳ දෙයක්. වෙසක් පොහොයට පසු දින හා එම සතිය පූජා සැරසිලි තොරණ ආදියට යොදාගත හැකිවෙයි යනුවෙන් වැලමිටියාවේ කුසලධම්මනාහිමියෝ පැවසූහ.
ජා-ඇළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී බෝගොඩ පියනන්ද හිමි - වෙසක් පොහොයට තහනම් නියෝගයක් පනවා නැහැ. වෙසක් තොරණ සැරසිලි ආදියට වැඩි වශයෙන් බාල තරුණ පිරිස යොමු වූවත් ප්‍රතිපත්ති පූජාවට සමබන්ධවන්නේ සුළු පිරිසක් නිසා ප්‍රතිපත්ති පූජාවට බාල තරුණ පිරිස් යොමුකර ගැනීමේ චේතනාවෙන් යම්යම් තීරණ ගෙන තිබෙනවා. අපේ සමහර දේශපාලනඥයින් එයට විවිධ අර්ථකථන ලබාදීමට උත්සාහ කිරීමක් තමයි පෙනී යන්නේ.
ගණේමුල්ල බෝධිරුක්ඛාරාමාධිපති රේටියගම විමලසාර හිමි-
සිවුරු පොරවාගත් පුද්ගලයින් භික්ෂු වේශයෙන් ශාසනයට ඇතුළත් වෙනවා. සමහර භික්ෂුන්වහන්සේලා බුදුපිළිම / කුඩා චෛත්‍ය අටපිරිකර තබාගෙන සම්මාදමේ යනවා. සමහර භික්ෂුන් වහන්සේලා කොහෙන් හරි ඉඩමක් මිලට ගෙන ගොඩනැගිල්ලක් තනා ආරාමයක් විහාරයක් කියා බෝධි එකකුත් තනාගන්නවා.
මිනුවන්ගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හැවනතැන්නේ සීලරතනහිමි - විහාරස්ථානවල දහම්පාසල් ලියා පදිංචි කිරීමේදී ගැටලු මතු වෙනවා. සමහර පුද්ගලයින් සිවුරු පොරවාගෙන විවිධ අකටයුතුකම්වල යෙදෙනවා. මෙය ශාසනයට පහරක්.
දොම්පේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි කැලණිය අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මෝරේ පියරතන හිමි- පෝය දිනයේත් ඉරිදා දිනවලත් සමහර පාසල්වල සිසුන්ට පන්ති හා විවිධ වැඩ සටහන් පවත්වනවා. දහම් පාසල් අධ්‍යාපනයට මෙම තත්ත්වය බලපා තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී තෝරපිටියේ ආනන්ද නායකහිමි- නිකායන්වල විනය කථිකාවත් නිසිපිළිවෙලට සම්මතකර ගත්විට අඩුපාඩු බොහොමයක් මගහැරෙනවා. 2018 සිසුන් නිපුණතා වැඩ සටහන් මෙවරද සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. 2017 දහම්පාසල් සිසු නිපුණතාවලින් ජයගත් අයට ත්‍යාග පිරිනැමීමට ක්‍රියා කරන්නේ යයි පැවසූහ. මෙහිදී දිසා ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු කීප දෙනෙක්ම කථා කළහ. අතිරේක දිසා ලේකම් ජී. ඩී. ඒ. පියබන්දු මහතා ඇතුළු බෞද්ධ භික්ෂුන්වහන්සේලා හා බෞද්ධ සමායෝජකයන්ද මෙයට සහභාගි වී සිටියහ.
උඩුගම්පොල සමූහ
ඡායාරූපය - උඩුගම්පොළ සමූහ
0 Comments