සැමට නිවසක් ලබා දීමේ නිවාස සිහිනය සැ වසර 2025 දී කෙසේ හෝ සැබෑකර ගන්නා බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව, කුඹුක්වැව ඉදි වූ “ජයනදගම” සහ ‘සැළමුතුගම” උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයේ දී ය.
යහපාලන රජය ආරම්භ කළ ‘යළි පිබිදුනු උදා ගම්මාන’ වැඩපිළිවෙළ යටතේ 52 වන සහ 53 වන උදා ගම්මාන අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව, කුඹුක්වැව ප්‍රදේශයේ දී ජනතා අයිතියට පත් කරමින් ඇමැතිවරයා එසේ පැවැසීය.
මේ වනවිට දිවයින පුරා උදා ගම්මාන 605 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබෙනවා. අපේ ඉලක්කය වසර 2020 වන විට උදා ගම්මාන 2,500ක් රට පුරා ඉදිකිරීමයි. එම ඉලක්කය වෙත ගමන් කිරීම සඳහා 2018 වසරේ තවත් ගම්මාන 650ක් සහ 2019, 2020 වසරවල ගම්මාන 650 බැගින් ඉදිකළ යුතුයි. ඒ අනුව අප මීළඟ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ රටේම උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමෙන් පසුව බව මා වගකීමෙන් ප්‍රකාශ කරනවා. යහපාලන රජය යටතේ ඓතිහාසික නිවාස සංවර්ධන වැඩසටහනක් හරහා වසර 2025 වන විට ජාති, ආගම්, කුල-මල, පංති භේදයෙන් තොරව රටේ සැමට සෙවණ ලබාදීම මගේ ඒකායන අරමුණයි.
‘ජයනදගම’ උදාගම්මානය නව නිවාස 25කින් සහ ‘සැළමුතුගම’ උදාගම්මානය නව නිවාස 27 කින් සමන්විතයි. මෙම ගම්මාන දෙක අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 701ක පමණ මුදලක් වැය කර තිබෙනවා. පිරිසුදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙම උදාගම්මාන සමන්විත වනවා. මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා නිවාසලාභීන්ට අප ලබාදුන් සහන පොලී ණය මුදලට අමතරව ඔවුන් තමන්ගේ මුදල්ද එක්කර ඉතා වටිනා නිවාස ඉදිකර තිබෙනවා. එය ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධනයයි.
මෙම ගම්මානයේ සෑම නිවසක්ම කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති කාර්ය සාධක බළකායන් හතරක් ක්‍රියාත්මක වෙනවා. එනම් පරිසර සංරක්ෂණ වැඩසටහන, ආහාර සුරක්ෂිතතා ගෙවතු වගා වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන සහ සෑම නිවසක්ම මත්ද්‍රව්‍යවලින් තොර නිවසක් බවට පත් කිරීමේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනයි. එමෙන්ම මෙම ගම්මානයේ ජීවත් වන ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමටත් අප දැවැන්ත මෙහෙවරක් ඉටු කරනවා.
අද දවස තුළ තවත් ප්‍රතිලාභීන් 1,200කට පමණ අප සහන රැසක් ලබා දෙනවා. පවුල් 52කට නිවාස අයිතිය අද හිමි වනවා. මෙම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 339කට රුපියල් ලක්ෂ 350ක් වටිනා ‘විසිරි නිවාස ණය’ ලබා දෙනවා. තවත් ප්‍රතිලාභීන් 104කට රුපියල් ලක්ෂ 208ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’ , ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 114 දෙනෙකුට රුපියල් ලක්ෂ 57ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් හා වෘත්තිය පොත් කට්ටල ප්‍රදානය කරනවා. පුහුණුව නිම කළ තරුණ තරුණියන් 25 දෙනෙකුට සහතික පත්‍ර ලබා දෙනවා. වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයන් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 121 ක් වටිනා නිවාස ආධාර ලබාදීම, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් 94 දෙනෙකුට රුපියල් 75,000/- වටිනා ඇස් කණ්ණාඩි ලබා දෙනවා. තවත් පවුල් 72ක් සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය, සෙවණ නිවාස ණය ආධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 13 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 19ක් වටිනා නිවාස ආධාර ප්‍රදානය, ‘ග්‍රාම ශක්ති’ නිවාස ආධාර වැඩසටහන යටතේ 65 දෙනෙකුට රුපියල් ලක්ෂ 320 ක් වටිනා නිවාස ආධාර ප්‍රදානය, තවත් පවුල් 260 කට අඹ පැළ ප්‍රදානය කිරීම වැනි ප්‍රතිලාභ රැසක් අද දින ජනතාවට ලබා දෙනවා. ‘ජයනදගම’ සහ ‘සැළමුතුගම’ උදා ගම්මාන ජනතා අයිතියට පත් වීමට සමගාමීව මෙම ප්‍රදේශයේ ජනතාවට හිමිවන ප්‍රතිලාභ මේවායි.
යහපාලන රජයේ නිවාස වැඩසටහන යටතේ ඉදිකරනු ලබන සෑම නිවසක්ම නිසි ප්‍රමිතියෙන් යුතුයි. නිවාස ඉදිකිරීමට බාල මිශ්‍රණ, බාල ලී වර්ග කිසිවක් යොදා ගන්නේ නැහැ. මේ සෑම නිවසක්ම ඉදිකරන්නේ කොන්ත්‍රාත්කරුවන් නොවෙයි. යහපාලන රජයේ නිවාස වැඩසටහනේ වෙනස එයයි. කොමිස්, පගාව, කප්පම් ලබා දී නිවාස ඉදිකරන්නේ නැහැ. පසුගිය කාලයේදී සුනාමි නිවාස ඉදිකිරීමට තිබූ මුදලින් පවා පාලකයන් ගසා කෑවා. සුනාමි නිවාස ඉදිකළ ආකාරයට යහපාලන රජය උදා ගම්මාන වැඩසටහන ක්‍රියාවට නංවන්නේ නැහැ. ස්වශක්තියෙන්, ස්වඋත්සාහයෙන් කිසිවකුගේ වහළකු නොවී තමන්ම ජන සමාජයේ නැඟී සිටිමින් ශක්තිමත් පුරවැසියකු ලෙස නිවාස ඉදිකර ගැනීමට ප්‍රතිලාභීන් මෙහිදී උනන්දු වෙනවා. එපමණක් නොව මේ නිවාස ඉදිකර ගැනීමට පවුලේ සාමාජිකයන්ගේ උනන්දුවත්, සහයෝගය ස්වේච්ඡාවෙන් ලැබෙනවා. කොමිස්, පගා මුදල් වලින් ඉදිකළ නිවාස අතරත් පවතිනවා. යළි ඇරඹුණ උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ ඉදිවන නිවාස අතරත් පවතින වෙනස මෙයයි. යහපාලන රජයේ නිවාස වැඩසටහන ඉතා පිරිසුදුයි. කුමන රජයක් පැමිණියත් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු අතර ප්‍රශ්න තිබෙනවා. නමුත් නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශයේ ඇමැති ජෝඩුව අතර කිසිදු ප්‍රශ්නයක් නැහැ. මාත් ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය ඇමැතිතුමා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වැඩකටයුතු ශක්ති සම්පන්නව, සක්‍රීයව, පිරිසුදුව ක්‍රියාවට නංවනවා.
අපගේ අමාත්‍යාංශය තුළ පගාව, බොරුව, වංචාව නැහැ. එවැනි ප්‍රතිපත්තියක් අප අනුගමනය කරන්නේ. මගේ වැටුප, නිල නිවාස දීමනාව සියල්ලක්ම මාසිකව මෙරට නිවාස ඉදිකිරීම සඳහා යොදවනවා. එපමණක් නොව නිවාස සංවර්ධන අධිකාරිය සතුව ඇමැතිවරයාට, නියෝජ්‍ය ඇමැතිවරයාට සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයට වෙනමම මහලක් වෙන් කර තිබුණා. එම මහලද මා වී අලෙවී මණ්ඩලයට කුලියට ලබා දුන්නා. ඒ ලැබෙන කුලියෙන්ද නිවාස ඉදිකරනවා. අප දෙන ආදර්ශය මෙයයි.
මගේ කේන්දරයේ 10 වැනි කොටුවේ සිටින්නේ සෙනසුරු ග්‍රහයායි. ඒ කියන්නේ මට දුක්විඳින්න, නිදි වරන්නට, ප්‍රශ්නවලට මුහුණ දෙන්නට හැකියාව තියෙනවා කියන එකයි. 10 කොටුවේ සෙනසුරු සිටින සජිත් ප්‍රේමදාස අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින්, දහඩිය වගුරවමින් මගේ පියාගේ සිහිනය සැබෑ කරවන්නට කටයුතු කරනවා. එතුමාගේ එකම සිහිනය වූයේ වසර 2,000 දී සැමට සෙවණ ලබා දීමයි. එතුමාට අවසන් කිරීමට නොහැකි වූ එම ඉලක්කය වසර 2025 දී සපුරමින් සැමට සෙවණ ලබාදීමට මා කටයුතු කරනවා.
0 Comments