ජනපති ගිරිතලේ දී කියයි
ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ විනිවිද භාවයෙන් යුතුව ඉදිරියට ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසිය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කෙළේ ඊයේ (1) පෙරවරුවේ පොළොන්නරුව, ගිරිතලේ ජනපදය කණිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක් වෙමිනි.
පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 6 ක් වැය කරමින් මෙම නව පන්ති කාමර ගොඩනැගිල්ල ඉදි කර තිබේ.
එහි සමරු ඵලකය නිරාවරණය කර නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.ඉන් අනතුරුව ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ නා පැලයක් රෝපණය කෙළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් මෙසේ පැවසිය.
රටේ ගොවි ජනතාව වෙනුවෙන් මීට පෙර කිසිදු ආණ්ඩුවක් ඉටු නොකළ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවමින් වියළි කලාපයේ වැව් 2400 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මෙම වසරේ අරඹනවා.ඒ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් වැව් 123ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙනවා.
වංචාවට, දූෂණයට එරෙහි මගේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නෑ.ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ අක්‍රමිකතාවයෙන් තොරව, නිවැරදිව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසනවා.
දැනුමෙන් පිරි යහපත් සමාජයක් ගොඩනැඟුවේ නැත්නම් අයහපත් දේ හොඳයි කියලා ජනතාව එය භාර ගන්නවා. එහෙම වුණොත් සමාජයම විනාශ වෙනවා. ඒක මේ රටේ සියලුම ජනතාව හොඳින් අවබෝධකර ගත යුතු වෙනවා.
ඒ වගේම විභාග සමත් වූ සිසුවා ගැන සතුටු වෙනවා සේ අසමත් වූ සිසුවා අසමත්වීමට හේතු වූ කරුණු ගැන මවුපියන් සොයා බැලිය යුතුයි. 5 ශිෂ්‍යත්වය අසමත් වූ ශිෂ්‍යයකු නිවෙසට ගිය අවස්ථාවේ මවුපියන් ඒ දරුවාට පහරදී එළියට ඇද දමලා තියෙනවා. ඒ වගේම වයස අවුරුදු 10 ½ දරුවකු 5 ශිෂ්‍යත්වය අසමත් වුණා කියලා මවුපියන්ගේ දෝෂාරෝපණය ඉවසා ගන්න බැරිව ගෙල වැල ලා ගෙන සියදිවි නසා ගෙන තියෙනවා. මේ දරුවා කොහොමද ගෙල වැල දා ගත්තේ. කවුරුත් එහෙම කරනවා දැක තියනවාද. පෙරහුරුවක් කර පුහුණුවුණා ද නැහැනේ ඒ තත්ත්වය දරුවාට ලැබුණේ කෙසේද? මට නම් හිතා ගන්නවත් බැහැ. බොහෝ මවුපියෝ හිතාගෙන ඉන්නේ 5 ශිෂ්‍යත්ව විභාගය දරුවාගේ ආරම්භයත් අවසානයත් ඒ බව කියායි. මවුපියන්ගේ මේ ඛේදවාචකය මේ තත්ත්වයයි. දරුවාගේ අනාගතය 5 ශිෂ්‍යත්වයෙන්ම ඉවර කරන්න එපා.
මේවා ගැන සොයා බලා මවුපියන් දැනුමෙන් බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. දරුවන්ට නිදහසේ තම අධ්‍යාපන කටයුතු කරගෙන යන්න මවුපියන් ඉඩදිය යුතුයි. බොහෝ පවුල් දුප්පත් වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතය නිසායි. පවුල් අඩ දබර නිසා පවුල් සංස්ථා විනාශ වෙනවා. දරුවන් විනාශ වෙනවා. මම ළඟදි රත්නපුර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනකට ගියා. රත්නපුර දිස්ත්‍රික්කයේ අරක්කු සිගරට්වලට මාසයකට රුපියල් කෝටි 390 වියදම් කරනවා. මේ සල්ලි ඉතිරි කරගත්තා නම් එහෙම නැත්නම් ඒ සල්ලි කැටයකට දමලා ඉතිරි කර ගත්තා නම් ඒ මුදලින් ගමේ සංවර්ධන වැඩකටයුතු කර ගන්න පුළුවන්.
බොන සල්ලි කැටයකට දමලා ඒ මුදලින් ගමේ සංවර්ධනයක් කළා නම් කොච්චර හොඳද? එතකොට ආණ්ඩුවට ගමේ සංවර්ධන කටයුතු සඳහා මුදල් වැය කරන්න අවශ්‍ය නැහැ. දැන් හැම ගමකම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව සෞඛ්‍ය අධ්‍යාපන මාර්ග ඇතුළු සියලු සංවර්ධන වැඩ කරගෙන යනවා. රජයට මේ අනුව සහයෝගය දක්වනවා නම් රට තව තවත් සංවර්ධනය කළ හැකි වෙනවා. තමන් කරන දේ හරියට කරන්න හෘද සාක්කියට එකඟව කරන්න. ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා මේ යෝධ ඇළ පාසලටත් ගිරිතලේ කනිෂ්ඨ පාසලටත් පැමිණීමට ලැබීම ගැන.
එදා මේ ගොවිජනපද ඇති කෙළේ ඩී. එස්. සේනානායක මහතායි. එතුමා මින්නේරිය ගොවි ව්‍යාපාරය අරඹා පවුල් පදිංචි කරලා ප්‍රදේශය සංවර්ධන කළා. එදාත් මේ වාරි ක්ෂේත්‍රයේ ජල ප්‍රශ්න තිබුණා. මොරගහකන්ද ජලාශය සංවර්ධනය කිරීමෙන් පසුව මේ ප්‍රදේශවලට යළි කවදාවත් ජල ප්‍රශ්නයක් එන්නේ නැහැ. කල් ගිහින් තිබූ මේ මොරගහකන්ද ජලාශය සංවර්ධනය කර මා විවෘත කළා. යළි කවදාවත් පොළොන්නරුව දිස්ත්‍රික්කයට ජල හිඟයක් ඇති වන්නේ නැහැ.
මේ ජල ප්‍රශ්න නිසා එදා ගොවීන්ගේ ජීවිත නැති වුණා. නිලධාරින්ගේ ජීවිත අනතුරේ වැටුණා.පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, වවුනියාව, මන්නාරම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැරැණි වැව් 2400 සංවර්ධනය කිරීම මේ වසර තුළ ආරම්භ කරනවා. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැරැණි වැව් 123 මේ ළඟදීම සංවර්ධනය කිරීම ආරම්භ කරනවා.
මේ සඳහා ලෝක බැංකුව තවත් රටවල් ආධාර කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම සංවර්ධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව යොදාගෙන තිබෙනවාට ඇතැම් කොන්ත්‍රාත්කරුවන් මා සමඟ අමනාප වී සිටිනවා. මේ පාසල්වල පන්තිකාමර ගොඩනැගිලි ඉදිකෙළේ හමුදාව. මේ නිසා විභාගවලට පෙනී සිටින දරුවන්ට සුදුසු පරිසරයක් නිවෙස තුළ ඇති කළ යුතුයි. ඔබේ දරුවාට හොඳ අනාගතයක් ලබාදිය යුතුයි. නැතිනම් මේ පාසල් ගොඩනැගිලි සම්පත් ලබාදී වැඩක් නැහැ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩුපාඩු රාශියක් සම්පූර්ණ කරලා තියෙන්නේ. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ. හිඟුරක්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 94 ගොඩනැගිලි 32 වැඩ අවසන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් 240 අලුත් ගොඩනැගිලි 142 විවෘත කරන්න තියෙනවා. කාලය කළමනාකරණ කිරීමේදී මේ සියල්ලම විවෘත කරන්න මට එන්න ලැබෙන්නේ නැහැ. කොහාමහරි විවෘත කළ යුතුයි. මා ජනාධිපති ධුරයට පත්වූ වහාම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල්වලට රුපියල් කෝටි 9 ක ඩෙස්, පුටු ලබාදී තිබෙනවා. අධ්‍යාපනයට තව තවත් උදව් කරන්න මම පියවර ගන්නවා.
විද්‍යාලයේ ගුරුවරයකුගේ නිර්මාණයක් විදුහල්පති ඩබ්ලිව්.ජී. කරුණාදාස මහතා මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන් විය.
උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක සිරිකෙත සිරිසීවලි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය ද, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද මවුපියන්, ගුරුවරුන්, ආදි සිසුහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පොළොන්නරුව දිසා සමූහ සහ පොළොන්නරුව විශේෂ
ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments