ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන්ට සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බලා ඔවුන්ගේ තත්ත්වය නිර්ණය කිරීමට පත් කෙරුණු අතුරුදන්වූවන්ගේ කාර්යාලය සඳහා පත්කෙරුණු කොමසාරිස්වරුන්ගේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදා 28 කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.
පාර්ලිමේන්තුව විසින් 2016 අගෝස්තු මස අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කරන ලද අතර කොමසාරිස්වරුන් පත්කිරීමත් සමගම මෙම කාර්යාලය ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකාව විසින් දේශීය වශයෙන් නිර්මාණය කොට ක්‍රියාත්මක කරන සංහිඳියා යාන්ත්‍රණයන් හෙවත් සංක්‍රමණීය යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයන්හි පළමු පියවර මෙය වෙයි.
අතුරුදන්වූවන්ගේ කාර්යාලය උදෙසා කොමසාරිස්වරුන් පත් කොට ඇත්තේ තුන් වසරක ධුර කාලයකටය.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සභාපති වන අතර ජයදීපා පුණ්‍යමූර්ති , මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) මොහාන්ති ඇන්ටොනට් පීරිස් , ආචාර්ය ශ්‍රියානි නිමල්කා ප්‍රනාන්දු , මිරාක් රහීම්, සෝමසිරි කේ. ලියනගේ, කණපතිපිල්ලෛ වේන්දන් මහත්ම මහත්මීහු සාමාජිකයෝ වෙති. රජය විසින් 2018 වසර සඳහා වූ අය- වැය යෝජනා මගින් අතුරුදන්වූවන්ගේ කාර්යාලය උදෙසා රුපියල් බිලියන 1.3 ක් හෙවත් රුපියල් කෝටි 130ක් වෙන් කොට ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කොමසාරිස්වරුන් තෝරාගන්නා ලද්දේ විවෘත තරගකාරී ක්‍රමයක් මත වන අතර එසේ තෝරා ගත් කොමසාරිස්වරුන්ගේ නාම යෝජනා පත් කිරීම උදෙසා ජනාධිපතිතුමන් වෙත යොමු කරන ලදී. අතුරුදන්වූවන්ගේ කාර්යාලය පාර්ලිමේන්තුවට වගකියන ස්වාධීන ආයතනයක් වෙයි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ඝට්ටනයන් හේතුවෙන් විපතට පත්වූ සහ දිවි ගලවාගත් පවුල්වල සාමාජිකයන් අස්වැසිල්ලක් ලබා දීමටත්, වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට තිරසර හානිපූරණයක් උදෙසා පදනම දැමීමත් මෙම අතුරුදන්වූවන්ගේ කාර්යාලය විසින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
0 Comments