Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුදු කරපටි අපරාධ නඩු කඩිනම් කරන ස්වර්ණමය අවස්ථාව පැහැර නොහැරිය යුතුයි

Author(s): 
නෙල්කා මැදගෙදර

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය

සමස්ත ජාතියම වින්දිතයන් බවට පත්කරමින් සුදු කරපටි අපරාධකරුවන් සිදුකරන මූල්‍ය අපරාධ සම්බන්ධ නඩු විභාග කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කෙරුණු අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් නඩු පමා කිරීම වැළැක්වීමට උදා වී ඇති ස්වර්ණමය අවස්ථාව පැහැර නොහැරිය යුතු යැයි ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ (20) පැවසීය.

මෙම පනත් කෙටුම්පත සැකසීම සම්බන්ධයෙන් කටයුතු කළ කමිටු සැසිවාරයට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ‍සහ භාණ්ඩාගාරිකවරයා සහභාගි වී සිටියත් ඔවුන් එහිදී මෙම පනතට විරෝධය පළනොකළ බව ද වැලිඅමුණ මහතා කීය.

එම පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකළ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී මැදිහත් පාර්ශ්ව පෙත්සම්කරුවන් දෙදෙ‍ෙනකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීනිඥවරයා මේ බව කීය.

සුදු කරපටි අපරාධකරුවන් දේශපාලන හේතූන් මත හෝ ආරක්ෂා වී සිටිනවා. මේ වන විට ඔවුන් අත්අඩංගුවට ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. නීතිය ක්‍රියාත්මක වීම පමාවීම ජාතික ප්‍රශ්නයක් බවට මේ වන විට පත්ව තිබෙනවා. නඩු පමාවීම වැළැක්වීමට නීතිඥවරු මෙන්ම විනිසුරුවරුන් ද අසමත්. මෙය විශාල ප්‍රශ්නයක්. මෙම තත්ත්වය ඊළඟ පරම්පරාවට දායාද කළ යුතු නැහැ. එය වෙනස් කිරීමට මෙය හොඳ අවස්ථාවක් යැයි ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා තවදුරටත් කීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරමින් පෙත්සම් 7 ක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ. ආර්. ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස්, ආචාර්ය වෛද්‍ය චන්න සුදත් ජයසුමන, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ජනිත අබේවික්‍රම ලියනගේ, ඩබ්ලිව්. ඩී. ආර්. ධර්මසිරි ගුණරත්න විසින් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම්වලට මැදිහත්වීමට අවසර ඉල්ලා රාජ්‍ය ඇමැතිවරුන් වන හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, ජාතික හෙළ උරුමයේ නායක ඇමැති පාඨලී චම්පික රණවක, පුරවැසි බලය සංවිධානයේ මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය ජයදේව උයන්ගොඩ, කේ. ඩබ්ලිව්. ජනරංජන, ජගත් හේමචන්ද්‍ර, ගාමිණී වියන්ගොඩ විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක්කළ පෙත්සම් සහ අතරමැදි පෙත්සම් සළකා බැලීම ‍ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු‍ කෙරිණි.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, නලීන් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු මීට පෙර කරුණු ඉදිරිපත් කළහ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පිළිතුරු දේශනය නීතිපතිවරයා වෙනුවෙන් සිදු කෙළේය.

අතරමැදි පෙත්සම් සම්බන්ධ කරුණු සලකා බැලීම ඊයේ (20) සිදුකළ අවස්ථාවේදී අතරමැදි පෙත්සම්කාර ජගත් හේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා මෙසේ කීය.

අධිකරණ සංවිධාන පනතට ගෙන එන මෙම සංශෝධනය මඟින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් හඳුන්වාදීම කරනවා. එය අලුතින් මහාධිකරණයක් පිහිටුවීමක් නොව අදාළ නඩු විභාග කිරීම සඳහා ස්ථිර විනිසුරුවරුන් තිදෙනකු වෙනමම නම් කර පවත්වාගෙන යාම පමණයි සිදු කරන්නේ. බරපතළ ආර්ථික සහ මූල්‍ය වැරැදි සම්බන්ධ නඩු මෙහිදී විභාග කිරීමට නියමිතයි.

අගවිනිසුරුවරයා - මේ සම්බන්ධව පැහැදිලිව සඳහනක් තිබෙනවාද?

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා - මෙම අධිකරණය සංකීර්ණ සහ බරපතළ මූල්‍ය, ආර්ථික අපරාධ සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා කටයුතු කිරීමට නියමිතයි. එය පනතෙහි පැහැදිලිව සඳහන් කිරීමට කටයුතු කරනවා. පනත් කෙටුම්පතට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට රජය කිසිදු අවස්ථාවක පැකිළෙන්නේ නැහැ. එම කරුණු ඇතුළත්කොට පනත් කෙටුම්පතට ගෙනඒමට නියමිත සංශෝධනය ඉදිරි දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැකියි.

ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා - අධිකරණ කටයුතු සම්බන්ධ කොමිසන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අල්ලස් හෝ දූෂණ කොමිසමට ව්‍යවස්ථාදායක බලයක් දී තිබෙනවා. ඒ අනුව අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් මත හෝ සිය තීරණය මතට කටයුතු කිරීමේ හැකියාව එමඟින් එම කොමිසමට දී තිබෙනවා. මීට පෙර පැවතියේ ලිඛිත පැමිණිල්ලක් මත කටයුතු කිරීමේ හැකියාව පමණයි. නමුත් දැන් එම කොමිසමේ බලය පුළුල් කර තිබෙනවා.

අවාසනාවකට අද වන විට මූල්‍ය අපරාධ වැඩි වී තිබෙනවා. එම අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පුළුල් බලයක් අල්ලස් කොමිසමට මෙම පනත් කෙටුම්පත මඟින් ලබා දී තිබෙනවා.

ත්‍රිපුද්ගල ‍මහාධිකරණයේ නඩුවක විත්තිකරුවකු වන පුද්ගලයකු වෙනුවෙන් නීතිඥවරයකුට පෙනී සිටිය හැකියි. එහෙත් එම විත්තිකරු තෝරාගන්නා නීතිඥවරයාගේ කාර්ය බහුලත්වය නිසා මාස ගණනක් ඈතට දින ඉල්ලා සිටීමේ අවස්ථාව මෙම පනත් කෙටුම්පතින් නැතිකර තිබෙනවා. විවිධ පෞද්ගලික හේතූන් මත අනවශ්‍ය ලෙස නඩු විභාග දික්කර ගැනීම එමඟින් අහිමි කර ඇතත් නීතිමය වශයෙන් වැදගත්වන කරුණක් සම්බන්ධයෙන් හෝ ඉහළ අධිකරණයක පෙනී සිටීම නිසා එම නීතිඥවරයාට එම නඩුව කල්දමා ගැනීමට අවශ්‍ය නම් එයට බාධාවක් නැහැ. එකම කාරණය එම හේතුව පිළිගත හැකි සාධාරණ කරුණක් වීම පමණයි.

දිනපතා නඩු විභාගයට ගැනීම සම්බන්ධයෙන් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ කටයුතු කළ කමිටුවේ අවධානය යොමු වුණා. ඒ සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරෝධයක් දැක්වූයේ නැහැ. මේ සම්බන්ධ වාචික කරුණු විමසන අවස්ථාවේදී එහි සාමාජිකයකු වූ අජිත් පී. පෙරේරා මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙම කරුණ මතු කළා. එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඊට සහභාගි වුණා. ඔහු කිසිදු විරෝධයක් එහිදී පළකළේ නැහැ. දිනපතා නඩු විභාග කිරීම අලුත් හඳුන්වාදීමක් නොවෙයි. මීට පෙර බො‍හෝ අවස්ථාවල දිනපතා නඩු විභාගයට ගෙන තිබෙනවා. මහනුවර මහාධිකරණයේ ‍එලෙස සති තුනකදී දිනපතා නඩුවක් විභාගයට ගෙන අවසන් වූවා. ‍එම නඩුවට මා කනිෂ්ඨ නීතිඥවරයකු ලෙස එම දිනවල පෙනී සිටියා.

අතරමැදි පාර්ශ්ව පෙත්සම්කාර නි‍‍යෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන සහ රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා අධිකරණය අමතමින් මෙසේ කීය.

මීට පෙර අධිකරණයෙහි කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා සමඟ මා පූර්ණ ලෙස එකඟ වෙනවා. විශේෂිත නඩු සඳහා වෙනම අධිකරණයක් පවත්වාගෙන යාම වැදගත් වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කැමැතියි. හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු කළ පර්යේෂණ කෘතියකින් එය විශේෂිතව දක්වා තිබෙනවා. මූල්‍ය හා දූෂණ සම්බන්ධ නඩු විශේෂයෙන් විභාග කිරීම මඟින් කඩිනම් නඩු විභාගයක් පවත්වා ගැනීම, එහි අභියාචන සෘජුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම යනාදිය දක්වා තිබෙනවා.

සුදු කරපටි අපරාධකරුවන් කරන අපරාධවලට එරෙහිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සාඩම්බර අතීතයක් නැහැ. වැරදි කරන ඉහළ පෙළේ අය බලය හෝ කුමන හේතූන් මත ආරක්ෂා වී තිබෙනවා. මේ වන විට ඔවුන් අත්අඩංගුවට ගැනීමට පවා බාධාවන් ඇති වී තිබෙනවා.

මෙම පනත සැකසීම සම්බන්ධයෙන් කටයුතු කළ කමිටුවට විවිධ අංශවල සාමාජිකයන් සහභාගි වුණා. ඔවුන් නිර්දේශ හය, හතක් ඉදිරිපත් කළා. එහි එක් යෝජනාවක් තමයි මහාධිකරණ විනිසුරුවරුන් 110 ක් තෙක් ඉහළ නැංවීම. එය මේ වන විටත් සිදු වී තිබෙනවා. එක් පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනී සිටි මාරපන මහතාගේ දේශනය මා කම්පනයට පත් කළා. මෙහි ඇති යහපත් කරුණු මගහැර එක් කොටසක් පමණක් කියවීම පහසුව තකා කළ දෙයක්. කෙසේ වුවත් එම කමිටු සැසිවාරවලට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ද, භාණ්ඩාගාරිකවරයා ද සහභාගි වී සිටියත් කිසිදු අවස්ථාවක ඔවුන් මෙම පනතට විරෝධය පළකර නැහැ. මෙම පනත මඟින් තර්කානුකූල කඩිනම් නඩු විභාග ක්‍රියාවලියක් හඳුන්වා දීමට නියමිතයි.

අතරමැදි පෙත්සම්කාර පුරවැසි බලය සංවිධානයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙසේ කීය.

සේවයේ නියුතු මහාධිකරණ විනිසුරුවරුන් පළාත්බද මහාධිකරණ සහ අපරාධමය මහාධිකරණ බලය ක්‍රියාත්මක වෙනවා. එහිදී පළාත අනුව අධිකරණ බලය වෙනස් වෙනවා. ඒ අනුව නීතිපතිවරයා එම අධිකරණ බලප්‍රදේශය තුළ අධිචෝදනා කරනවා. යෝජිත ත්‍රිපුද්ගල මහාධිකරණය ‍තවත් එක් මහාධිකරණයක් පමණයි. එය අලුතින් පිහිටුවන්නක් නොවෙයි. එකම වෙනස එහි විනිසුරුවරුන් තිදෙනකු කටයුතු කිරීම පමණයි. එම විනිසුරුවරුන් නම් කරන්නේ අගවිනිසුරුවරයා සභාපතීත්වය දරන අධිකරණ සේවා කොමිසම විසින්. මෙහිදී විනිසුරුවරුන් පත්කිරීමේදී අගවිනිසුරුවරයා සතු බලය ඉවත් කිරීමක් වන බවට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් පෙන්වා දීම දෝෂ සහගත බව එමඟින් තහවුරු වෙනවා. එසේම චුදිතයකුට නීතිඥවරයකු තෝරාගැනීමට ඇති අයිතිය මෙමඟින් ඉවත්කර ඇති බවට ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකියි. නඩු කල්දමා ගැනීම පෞද්ගලික හේතූන් මත මෙහිදී නීතිඥවරුන්ට කළ නොහැකි වෙනවා. යම් නඩුවකට පෙනී සිටිය නොහැකි නම් එම නඩු බාර නොගැනීම නීතිඥවරුන්ගේ ආචාරධර්මයක්. ඉහළ අධිකරණයක පෙනී සිටීමට තිබීම නිසා පහළ අධිකරණයක නඩු කල්දමා ගැනීම සිය අයිතියක් ලෙස ඉල්ලා සිටීම මෙම පනතින් අවහිර ක තිබෙනවා. එහි ඇති වරදක් නැහැ. මහාධිකරණ විනිසුරුවරුන් සතුව දින ලබාදීමේ බලය තිබෙනවා. මූල්‍ය අපරාධ, ස්ත්‍රී දූෂණ නඩුවකට වඩා සරල ලෙස සැලකිය නොහැකියි. ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් නඩුවකට දෙන වැදගත්කමම මෙවැනි මූල්‍ය අපරාධ නඩුවලට ද ලබාදිය යුතුයි.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අවධානය යොමුවිය යුත්තේ මෙම පනත් කෙටුම්පතෙහි සඳහන් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැති ද යන්න පමණයි.

අතරමැදි පෙත්සම්කාර රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා මෙසේ කීය.

මෙම පනත් කෙටුම්පත මඟින් පිහිටුවීමට යෝජිත ත්‍රිපුද්ගල මහාධිකරණය මඟින් මහාධිකරණය සතු බලය ඉවත් කර ගැනීමක් වන්නේ නැහැ. එහිදී සිදුකරන්නේ දැනට සිටින විනිසුරුවරුන් අතරින් ත්‍රිපුද්ගල විනිසුරුවරුන් පත්කිරීමක් පමණයි. එම විනිසුරුවරුන් පත්කිරීමේදී අගවිනිසුරුවරයා පරිපාලකයකු ලෙස අධිකරණ සේවා කොමිසම හරහා විධායක සහ පරිපාලන බලය ක්‍රියාත්මක කරනවා. මෙම අධිකරණය පිහිටුවීම මඟින් අගවිනිසුරුවරයා සතු අධිකරණ බලය ඉවත් කරගැනීමක් සිදුකරන බවට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් කළ කරුණු නිවැරැදි නොවන බව එමඟින් තහවුරු වෙනවා.

විශේෂ හෝ අවස්ථාවෝචිත හේතුවක් මත මිස යම් හේතුවක් මත නඩු කල් දමාගත නොහැකි බවට මෙම පනත් කෙටුම්පතෙහි සඳහන් වෙනවා. එය ව්‍යවස්ථාවට පටහැනි වන්නේ කෙසේද? පාර්ශ්වකරුවන්ගේ යහපත මිස පහසුව වෙනුවෙන් පෙනී සිටිය යුතු බවට නීතිඥවරුන්ගේ ආචාර ධර්මවලම සඳහන් වෙනවා. එය සුරැකීම තමයි මෙහිදී සිදු වන්නේ. මෙම පනතෙහි ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් නැහැ. එය සරල බහුතරයකින් සම්මත කළ යුතු බවට ප්‍රකාශයක් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

නීතිඥ විරාන් කොරයා, නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න, නීතිඥ අරුණ ලක්සිරි ද මැදිහත් පාර්ශ්ව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

වැඩිදුර පෙත්සම් විභාගය කල් තැබිණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();