ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතු අපනයන සැකසුම් කලාප සඳහා නව ගිනි නිවීමේ රථ 8ක් ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 141 ක (ඇමෙරිකානු ඩොලර් 90,778) මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට ජපාන රජය එකඟතාවය පළකරයි.
ජපන් රජය විසින් මෙම ගිනි නිවීමේ රථ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (20) පස්වරුවේ සිදු කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහත්වරු ඒ සඳහා අත්සන් කළහ.
ජපාන රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය උදෙසා වන ආධාර ව්‍යාපෘතියක් ලෙස මේ පරිත්‍යාගය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන අතර ශ්‍රී ලංකාවේ අපනයන සැකසුම් කලාපවල ගිනි නිවීමේ අංශ වැඩිදියුණු කිරීම එමඟින් අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ අපනයන කලාපවල සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව, දේපළ සුරක්ෂීතභාවය සහ අවට ජනතාවගේ හා දේපලවල ආරක්ෂාව වර්ධනය කිරීමේ අරමුණින් ජපාන රජය විසින් මේ පරිත්‍යාගය සිදු කැර තිබේ.
මීට ප්‍රථම 2014 වසරේ දී ජපන් රජය විසින් මෙවැනිම රථ 5ක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන අතර එම ගිනි නිවීමේ රථ මේ වනවිට කටුනායක, සීතාවක, බියගම සහ වතුපිටිවල අපනයන සැකසුම් කලාපවල ගිනි ආරක්ෂාව සඳහා යොදවා ඇත.
මෙහිදී අඳහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා පෙන්වා දුන්නේ නව ගිනි නිවීම් රථ 8ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ අද දිනයේ අත්සන් කළ බවත් මේ රටේ ආයෝජන කලාපයන්හි ප්‍රයෝජනය වෙනුවෙන් ඒවා යොදා ගන්නා බවත්ය. ජපානය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර දිඟු කලක සිට සබඳතා පවතින බව පෙන්වාදුන් ඒ මහතා ජපානයේ ආයෝජකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බවද පෙන්වා දුන්නේය.
ජපාන රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය උදෙසා වන ආධාර ව්‍යාපෘතියක් ලෙස මේ ගිනි නිවීම් රථ ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා පියවර ගෙන තිබෙන බවද මෙවර ශ්‍රී ලංකාවට පිරිනමන ගිනි නිවීම් රථවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් 90,000 ට වැඩි වන බවද තානාපතිවරයා සඳහන් කෙළේය.
මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා සඳහන් කෙළේ පසුගිය වසර කිහිපයේ දීද ජපන් රජය විසින් ශ්‍රී ලංකාවට ගිනි නිවීම් රථ පහක් පමණ ලබාදී තිබෙන බවත් ඒවා මේ වනවිට අපනයන කලාප 4ක් සඳහා ලබාදී තිබෙන බවත්ය. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ආයෝජන කලාප 12ක් පමණ තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා මෙවර ගිනි නිවීම් රථ 8ක් ශ්‍රී ලංකාවට ලබාදීමත් සමඟ එම සියලු කලාපයන්හි ආරක්ෂාව වෙනුවෙන් යොමුකළ හැකිවන බවද පැවසීය.
මෙම කලාපවලට සහ ඒ අවට ප්‍රදේශවලට ගිනි නිවීමේ ඒකකවල දැඩි අවශ්‍යතාවක් තිබෙන බව පෙන්වාදුන් දුමින්ද ආරියසිංහ මහතා මෙම නව ඒකක ස්ථාපිත කිරීමත් සමඟ එම අවශ්‍යතාවන් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ගිනි නිවීමේ ඒකකයන්හි සේවය ලබාදීමට ක්‍රියාකරන බවද ප්‍රකාශ කෙළේය. ජපන් රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් ප්‍රණාමය පිරිනමන බවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කෙළේය.
මෑතක දී ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමක් ජපානයේ සංචාරය කළ බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී එරට ආයෝජකයින් හමුවීමට අවස්ථාව ලැබුණු බවද ආයෝජන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී ජපානය ශ්‍රී ලංකාවට අතිශ්‍ය වැදගත් රටක් බවද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ටකේෆුමි සාටෝ, උපදේශිකා නිරෝෂා වෙල්ගම, සංවර්ධන සහයෝඟීතාවය පිළිබඳ ජ්‍යේෂඨ සහකාර සුනිලා ද අල්විස් මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments