මහනුවර ක්‍රීඩා සමාජයේ නායක ගයාන් වීරරත්න
විනිසුරුගේ සංඥාව නිකුත් වෙයි. දැන් සටන ඇරැඹී ඇත. ඊළඟ මිනිත්තුවේදී කුමකින් කුමක් සිදු වේවිද? ක්‍රීඩාගාරයේ සිටින නරඹන්නන්ගේ හදවතේ ගැස්ම සෙමින් සෙමින් වැඩි වෙති. සිතින් මෙන්ම ගතින්ද හැඩි දැඩි තරුණයෝ එකිනෙකා පරයමින් තම ශක්තිය පෙන්වීමේ අරගලය උත්සන්න කරති. ඒ නිසාම ජවය, ප්‍රබෝධය, සටන්කාමීත්වය සේම කුතුහලයෙන් පිරි ක්‍රීඩාවට ඇල්ම හා බැල්ම එක එල්ලේම පවතී. රගර් ක්‍රීඩාව එම සත්‍යය පසක් කරද්දී, ශ්‍රී ලංකා රගර් පිටියේ අති ශූරයෙකු වූ මහනුවර ක්‍රීඩා සමාජයේ නායක ගයාන් වීරරත්න සමග රගර් ජීවිතය හා වත්මන් රගර් ක්‍රීඩාව පිළිබඳ කළ සටහනයි මේ.
ඔබ රගර් ක්‍රීඩාවට පිවිසියේ කොහොමද?
වයස 12දී මහනුවර කිංග්ස්වුඩ් විදුහලෙන් මා රගර් ක්‍රීඩාව ආරම්භ කළා. ඒ අවුරුද්දේ අපේ විදුහල මයිලෝ කුසලානය දිනා ගත්තා. ඒක දැක්ක දවසේ මටත් රගර් ගහන්න ආසාවක් ඇති වුණා. අපේ කිංග්ස්වුඩ් විදුහල රගර් ක්‍රීඩා කරන පැරණිම පාසලක්. කුඩා කළ සිට රගර් ක්‍රීඩාවට සම්බන්ධ දැවැන්ත ක්‍රීඩකයන් දැක්කා. මගේ පාසල රගර් ක්‍රීඩා කරන්න හොඳ පරිසරයක් වුණා.
කොහොමද ඔබව රගර් පිලට තෝරා ගත්තේ?
එක දවසක් පාසලේ නිවේදනය කළා රගර් වලට කැමැති අය තේරිම්වලට ඉදිරිපත් වෙන්න කියලා. ආසාව තිබුණත් එක පාරටම ගියේ නෑ. පන්තියේ යාලුවෝ දෙන්නෙක් මට කතා කළා. ඒ නිසා තමයි යන්න වුණේ.
මොකක්ද පළමු තරගය?
වෙස්ලි විදුහල සමග පළමු තරගයට ක්‍රීඩා කළේ. ඒ තරගය පැරදුනා. පළමු තරගයේ පරාජයේදී දුක හිතුනා. පස්සේ සහභාගී වූ තරග දිනන්න ගත්තා. ජය පරාජය කියන්නේ ක්‍රීඩාවේදී උරුම දෙයක්. සියල්ල සාධාරණව ඉවසා ගන්න ක්‍රීඩාවෙන් හැකියාව ලැබෙනවා. කිංග්ස්වුඩ් විදුහල වෙනුවෙන් පාසල් තරගාවලි සියල්ලේම වාගේ ශූරතා දිනා ගන්න මගේ උපරිම දායකත්වය දුන්නා.
පාසලේ සිටිද්දීම ඔබ ශ්‍රි ලංකා පිලට එක්වුණා නේද?
ඔව්. පාසලේදී 15න් පහළ, 17න් පහළ ක්‍රීඩා කළා. 17න් පහළ ක්‍රීඩා කරද්දී 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයට මාව තෝරා ගත්තා. 2005 සිට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වාසනාව මට හිමි වුණා. 2008දී 19න් පහළ ශ්‍රී ලංකා රගර් පිලේ නායකත්වය මට හිමි වුණා. ඒ කාලේදී මහනුවර පිලට මාව එක්කර ගත්තා. 2013 වෙද්දී මහනුවර රගර් පිලේ නායකත්වයට පත් වුණා. ඒත් එක්කම වගේ ආබාධයක් ඇතිවෙලා ටික කාලයක් විවේකීව ඉන්න වුණා.
මහනුවර පිල වත්මන් රගර් ශූරයෝ. මොනවද ලැබුණ අභියෝග?
සෑම තරගයක්ම අභියෝගයක් ලෙසයි භාර ගත්තේ. මුල සිටම අපේ ඉලක්කය වෙලා තිබුණේ රගර් ශූරතාව දිනා ගන්නයි. ඒකට හොඳ සැලැස්මක් තිබුණා. මහනුවර පිලේ නායකයා ලෙස මගේ පළපුරුද්ද, අත්දැකීම මේ තරගාවලියේ ශූරතාව දිනාගන්න පහසු වුණා. අපේ කණ්ඩායම සතුව හොඳ දක්ෂ ක්‍රීඩකයන් සිටියා. ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනකුම සිටියා. ඒ සියලු දෙනාගේ කැපවීම මහනුවර පිලට මෙවර රගර් ශූරතාව දිනා ගන්න ඉවහල් වුණා.
රගර් ක්‍රීඩාව නුවරට හා කොළඹට පමණක් සීමා වෙලා තියෙන්නේ ඇයි?
නුවර හා කොළඹ වැඩි වශයෙන් රගර් ක්‍රීඩා කරන එක ඇත්ත. නමුත් දැන් පිට පළාත් වලින් ක්‍රීඩකයන් බිහි වෙනවා. ඒත් දක්ෂයන් ඉදිරියට ගන්න නිසි වැඩ පිළිවෙළක් නැති එකයි ප්‍රශ්නය. නුවර රගර් ක්‍රීඩාව මලික් සමරවික්‍රම මහතා බලා ගන්නවා. ඒ නිසා ක්‍රීඩාව හොඳින් පවත්වාගෙන යන්න පුලුවන්. නමුත් නුවර රගර් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා පිලේ ලැබෙන තැන අඩුයි. නුවර ක්‍රීඩා කළොත් ක්‍රීඩකයාට වාසියක් තියෙනවා. ඒත් ශ්‍රී ලංකා පිලට තේරීමට තියෙන අවස්ථාව අඩු නිසා ක්‍රීඩකයාට අවාසියක් ඇති වෙනවා. නුවර රගර් ක්‍රීඩකයන්ට තියෙන මේ පීඩනය වහාම නැති කළ යුතුයි කියා මා සියලු පාර්ශ්වවලට යෝජනා කරනවා.
මේක නුවරට කැපිල්ලක්ද?
ඔව්. මේක කාලයක සිට තියෙන ප්‍රශ්නයක්. එක්තරා කාලයක නුවරින් ශ්‍රී ලංකා පිලට ක්‍රීඩකයෝ විශාල පිරිසක් ආවා. ඒත් දැන් නුවර බිහිවෙලා නුවරට ක්‍රීඩා කරන පිරිස අඩුයි. හොඳ ක්‍රීඩකයෙක් නුවරට ගත්තොත් එයාට ඉන් පස්සේ ශ්‍රී ලංකා පිලේ තැන අහිමි වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. එහෙම වෙන්න බෑනේ. ඇයි නුවර අපි කලුද? දක්ෂයා කොතැන හිටියත් එයාට තැන දෙන්න ඕනෑ. නැත්නම් ක්‍රීඩාව ඉදිරියට යන්නේ නෑ. මා මේ කියන දේ ගැන තරහින් බලන්නේ නැතිව ඇත්ත සොයා බලන්න කියා ඉල්ලා සිටිනවා. මට ඕනෑ රගර් ඉදිරියට යනවා දකින්නයි.
ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව එකම තැන වගේ කියා චෝදනාවක් තියෙනවා?
ඒකට හේතුව පාසල් රගර් ක්‍රීඩාව දියුණු මට්ටමක නොතිබීම. පාසල් රගර් ක්‍රීඩාවේ තරගකාරීත්වය වැඩි කළ යුතුයි. ජාතික මට්ටමට සුදුසු ක්‍රීඩකයන් පාසල් රගර් ක්‍රීඩාවෙන් සොයා ගත යුතුයි. ඒ තෝරා ගැනීම් වලදී පාසල මොකක්ද කියන එක වැදගත් වෙන්නේ නෑ. පාසල් කාලයේදී හරියට හැදිලා ආවොත් අවුරුදු 20න් පස්සේ ඔවුන් රගර් ක්‍රීඩාවේ දිගටම නිරත වෙනවා. පිටරට අප දැක තියෙනවා වයස 17ක් 18ක් වෙද්දී අවශ්‍ය ව්‍යායෑම් කරලා ක්‍රීඩකයා ගොඩ නැගිලා ඉවරයි. දක්ෂයන් සොයා ඉලක්කගත වැඩ පිළිවෙළකට අප යා යුතුයි.
ඇයි දක්ෂ පාසල් ක්‍රීඩකයෝ පසුව හැලී යන්නේ?
ඒකට ප්‍රධාන හේතුව ඔවුන්ට ඉදිරියට එන්න ක්‍රමවේදයක් නැති කමයි. පාසලෙන් පස්සේ ක්‍රීඩා සමාජයකට එක්වෙන්න ඕනේ. පිට පළාත් ක්‍රීඩකයන් එනවා. ඒ වගේම වේගයෙන් ඉවතට යනවා. ඔවුන්ට කොළඹ - නුවර වගේ වෙනත් ප්‍රදේශවල පහසුකම් නෑ. පාසල් කාලයේ රැදෙනවා පාසල් ක්‍රීඩාව නිසා. ඒකයි මා කිව්වේ ඔවුන් වෙනුවෙන් නිසි වැඩ පිළිවෙළක් අවශ්‍ය බව.
රගර් ක්‍රීඩාව සල්ලිකාරයන්ගේ ක්‍රීඩාවක්. ඒකයි පිට පළාත් ක්‍රීඩකයන්ට ඉදිරියට එන්න බැරි. ඔබ මොකද කියන්නේ?
ඒ කතාව පිළිගන්න අමාරුයි. සල්ලිවලට වඩා අවශ්‍ය දක්ෂතා දැක්වීමයි. මුදල් අවශ්‍ය වන්නේ අමතර පෝෂණයට විටමින් වගේ දේ මිළදී ගන්නයි. කෑම බීම ගැන එතරම් කරදර විය යුතු නෑ. බත් ගොඩක් කන්නේ නැතිව යම් පාලනයකින් ආහාර ගත යුතුයි. අල, බතල, මඤ්ඤොක්කා හා කොළ වර්ග ගන්න ඕනේ. ශරීර පාලනය කිරීමයි වැදගත්. සාමාන්‍ය දේවල් යම් පිළිවෙළක් අනුව කාල සටහනක් අනුව ගැනීමයි විය යුත්තේ. හොඳ රගර් ක්‍රීඩකයෙක් වුණාම සල්ලි ලැබෙනවා.
ආසියාවේ අපේ රගර් පිල එකම තැන නේද?
ගිය අවුරුද්දේ අපි ටිකක් ඉදිරියට ආවා. ආසියාවේ අපට දෙවැනි තැන ලැබුණා. නමුත් මෙයට වඩා යමක් කළ හැකියි.
ඇයි ඒක නොවන්නේ?
හොඳ පුහුණුවක් අවශ්‍යයි. දැන් කරන පුහුණුවට අමතරව, අත්දැකීම් ඇති විදෙස් ක්‍රීඩකයන් සමග පුහුණුවක් අවශ්‍යයි. කාල්ටන් සෙවන්ස් ගහද්දී විදෙස් ක්‍රීඩකයන් 2ක් පමණ කණ්ඩායමකට ආවා. එතැනදී හොඳ දෙයක් වුණා. ක්‍රීඩක දක්ෂතා ඉදිරියට ආවා. ඒකට හේතුව අර විදෙස් ක්‍රීඩකයන් සමග ගැටී ලැබුණු අත්දැකීම්. ඒවගේ අලුත් ක්‍රමවේද අවශ්‍යයි.
ඔබ කියන්නේ අන්තර් ක්‍රීඩා සමාජ තරග රටාව වෙනස් විය යුතුයි කියලද?
අන්තර් ක්‍රීඩා සමාජ ලීග් තරගාවලියේ තරග 18ක් එක දිගට ක්‍රීඩා කළ යුතුයි. එහෙම වුණාම ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉදිරියට ගන්න අමාරුයි. තරග ප්‍රමාණයට ඔරොත්තු දෙන පුහුණුව හැම ක්ලබ් එකක්ම කරනවාද කියන ප්‍රශ්නය තියෙනවා. එවිට එළියට එන ප්‍රතිඵලය අඩුයි. හොඳ ප්‍රමිතියකින් යුතු ක්‍රීඩකයෝ බිහි වෙන එක අඩු වෙනවා. මෙහෙම වුණාම ඇතැම් අය අතහැරලා දානවා. ඒකයි නොකවුට් තරගාවලියේදී හැමදාම එකම පිරිසක් දකින්නේ.
රගර් පුහුණුකරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවාද?
එහෙම එකක් නොවෙයි. අප ඒෂියාඩ් එකෙන් ඉදිරියට යන්න තවත් අත්දැකීම් අවශ්‍යයි. ජපාන කණ්ඩායමේ ඉන්නවා අවම වශයෙන් විදෙස් ක්‍රීඩකයන් 3ක්වත්. ඒ අය ඉවත්වෙද්දී 19න් පහළ මට්ටමේ අය ඒ තැනට ගන්නවා. උඩට එන්න පුලුවන් විදිහේ සැලසුමක් ඔවුන් කල් ඇතිව හදා තියෙනවා. අන්න ඒවගේ වැඩ පිළිවෙළක් සහිත පුහුණුවක් අපට අවශ්‍යයි. ඒ අත්දැකීම අවුරුදු දෙක තුනක් ලැබුණොත් යම් ප්‍රගතියක් ඇතිවෙනවා නියතයි.
රගර් පිටියේ නිතර අඬ දබර ඇහෙනවා. එකිනෙකා ගහ ගන්නවා දකිනවා. විනය පිරිහිලා කියා චෝදනාවක් තියෙනවා?
පිටිය ඇතුලේ වෙන දේවල් ක්‍රීඩකයන් විසින්ම පාලනය කරගත යුතුයි. ආවේග පාලනය කර ගැනීම හැම ක්‍රිඩාවේදීම වැදගත්. එළියේ වෙන දේ පාලනය කිරීම තරග සංවිධායකයන්ගේ වගකීමක්. කවුරු මෙනවා කිව්වත් පිටිය ඇතුලේ විනය දැන් හොඳයි. රෙඩ්, යෙලෝ කාඩ් දැන් අඩුයි. රගර් නීති දැන් අලුත් වෙලා. විනිසුරුගේ ඩියුටි එක ක්‍රීඩකයෝ කරන්නේ නෑ. ක්‍රීඩකයෝ දැන් ගහ මරා ගන්නේ නෑ. දැන් විනය හොඳයි කියලා කවුරුත් පිළිගන්න ඕනෑ. ඒකේ ගෞරවය සියලුම රගර් ක්‍රීඩකයන්ට දිය යුතුයි.
නවක ක්‍රීඩකයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
දැන් ක්‍රීඩාව දවසින් දවස වෙනස් වෙනවා. එකම විදිහට ඉදලා දියුණු වෙන්න බෑ. වෙනස් වෙන ලෝකයට අනුව අපිත් වෙනස් වෙන්න ඕනෑ. නිසි පරිදි කෑම ගැනීම හා පුහුණුව වැදගත්. අලුත් පුහුණු ක්‍රම අපට ලැබෙන විට වසර දෙකක්වත් පැරණි වෙනවා. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ආබාධවලින් තොරව ක්‍රීඩා කිරීමට හැකි පුහුණු ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි. තමන් කරන දේ ආසාවකින් අවබෝධයකින් කිරීම අත්‍යාවශ්‍යයි.
ඔබේ ක්‍රීඩාවට අත දුන් අය මතක් කළොත්?
මගේ පළමු පුහුණුකරුවන් ආනන්ද කස්තුරිආරච්චි, ඒ. සී. තෙන්නකෝන් මහත්වරු. රොනී ඉබ්‍රහිම් හා මොතිලාල් ජයතිලක යන පුහුණුකරුවන් දෙදෙනා ඇතුළු පුහුණුකරුවන්. පියා මහින්ද වීරරත්න, මව නිල්මිණී රණසිංහ, මල්ලී රොෂාන් වීරරත්න සෑම විටම උපකාර වෙනවා. රගර් ක්‍රීඩාවට විශාල සේවයක් කරන ඇමැති මලික් සමරවික්‍රම මහතා සිහිපත් කළ යුතුයි. සියලු ප්‍රශ්න හමුවේ නොසැලී බිරිද සුජානී බෝගොල්ලාගම මගේ ජීවිතයට සෙවනැල්ලක් වෙලා තියෙනවා. අපට පුංචි දූ සිඟිත්තියක් ඉන්නවා. ඇයගේ නම බනාරා ගයන්යා වීරරත්න. එයාව සිපගෙන ක්‍රීඩාංගණයට යන එක මට දැන් නැවුම් සතුටක්.
සටහන - ප්‍රින්ස් ගුණසේකර

0 Comments