ලබන මස ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම තෝරාගැනීමේ ක්‍රමවේදය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ දැඩි අප්‍රසාදයට ලක්වී ඇත. ශ්‍රී ලංකාවට අතිශය වැදගත් මේ ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේදී දෛනික පුහුණුවීම් සඳහා නොපැමිණි ක්‍රීඩකයන් රැසක් කණ්ඩායමට ඇතුළත්වීම අමාත්‍යවරයාගේ නොසතුටට හේතුවී තිබේ.
ජාතික රග්බි තේරීම් කමිටුව විසින් තෝරාගන්නා ලද පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් පුහුණුවීම් සඳහා දෛනිකව පැමිණ නොමැති බවත්, විවිධ හේතු දක්වමින් පුහුණු සැසි මඟ හැර ඇති බවටත් පැමිණිලි ලැබී ඇතැයි දිනමිණ කළ විමසුමකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
‘අපි කිව්වේ මුල ඉඳලම සංචිතය හදන්න කියලයි. නමුත් ඇතැම් ක්‍රීඩකයන් පුහුණුවීම් මඟ හැර අන්තර් සමාජ තරගාවලියට ක්‍රීඩා කළා. අපිට වැදගත් වෙන්නේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන කොමන්වෙල්ත් තරගාවලියයි.
ආබාධ කියලා පුහුණුවීම් මඟ හැර සිටි ක්‍රීඩකයන්ට කණ්ඩායමට ඇතුළත් වෙන්න බෑ. පුහුණුවීම්වලට පැමිණි ක්‍රීඩකයන්ගේ වගේම නොපැමිණි ක්‍රීඩකයන්ගෙත් ලැයිස්තුවක් මම රග්බි සංගමයෙන් ඉල්ලුවා. ඒ අනුව කටයුතු කරලයි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට රග්බි කණ්ඩායම තෝරන්න ඕන.’ අමාත්‍යවරයා කීවේය.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන අනික් ක්‍රීඩා ඉසව් සඳහා සංචිතගත කිරීම මාස ගණනාවක් පුරා සිදුකළ බව කී අමාත්‍යවරයා රග්බි ක්‍රීඩකයන්ගේ සංචිතය අවසන් මොහොත දක්වා අන්තර් සමාජ තරගාවලිය මෙන් විවිධ හේතු මත කල්දැමීම පිළිබඳ තමා දැඩි පියවරක් ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
‘මං රග්බි සංගමයටත්, එහි සභාපතිවරයාටත් පැහැදිලිවම කියා සිටියා මෙවැනි සිදුවීම් ඉදිරියේදී නොවිය යුතු බව. නිසි ක්‍රමවේදයකින් යුතුව සංචිතගත කිරීම් අනික් ක්‍රීඩාවල මෙන්ම රග්බි ක්‍රීඩාවේත් සිදුවිය යුතුයි. ඉදිරියේදී මෙවැනි ක්‍රියා සිදුවුවහොත් මා දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.’ අමාත්‍යවරයා කියා සිටියේය.
‘අනික ක්‍රීඩකයන් දැනගන්න ඕනා පොදු රාජ්‍ය මණ්ඩලයිය ක්‍රීඩා උළෙල රටට වැදගත් තරගාවලියක් කියලා. ඔවුන් දැනගත යුතුයි පුහුණුවීම් සඳහා දිනපතා පැමිණෙන්න. ඒ වෙනුවට තමන්ගේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරමින් ජාතික සංචිතයේ පුහුණුවීම් මඟ හරින්න උත්සාහ කිරීම ඔවුන්ගේ වරදක් හැටියටයි මං දකින්නේ.’ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ ජාතික රග්බි තේරීම් කමිටුවේ සභාපති මයිකල් ජයසේකර මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ බෝර්නියෝ සෙවන්ස් ආරාධිත තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට යැවීමට ඇතැම් පාර්ශ්වවලට අවශ්‍යවී ඇති බවය.
බෝර්නියෝ සෙවන්ස් වැනි ආරාධිත තරගාවලියකට වඩා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට වැදගත් තරගාවලියක් බවත්, ඒ සඳහා දස්කම් සපිරි කණ්ඩායමක් තෝරාගැනීමට පියවරගත් බවත් මයිකල් ජයසේකර මහතා කීවේය.
‘බෝර්නියෝ තරගාවලියට තමන් තෝරා නොගන්නා ලෙසත්, ඊට වඩා වැදගත් තරගාවලියක් වන පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය සඳහා කණ්ඩායම තෝරාගැනීමේදී තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙසත් අපට දන්වා සිටියා. ඒ වගේම ඔවුන් දිගටම පුහුණුවීම්වලටත් සහභාගි වුණා. අපි ඒ අනුවයි කණ්ඩායම තෝරාගත්තේ. ඒ අනුව බෝර්නියෝ තරගාවලියෙන් විවේකගැන්වූ දක්ෂතා ඇති ක්‍රීඩකයන් රැසක් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට නම් කිරීමට අපි පියවර ගත්තා. එහෙත් ඇතැමුන් ඒ සම්බන්ධව විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.
අපිට පොදුරාජ්‍ය මණ්ඩලයිය තරගාවලියට කණ්ඩායම තෝරාගැනීමට ක්‍රීඩකයන් 21 ගෙන් සමන්විත ලැයිස්තුවක් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී රග්බි සංගමයෙන් ලබාදුන්නා. ඒ අතරින් තමයි මේ කණ්ඩායම තෝරාගත්තේ. ඒ හැරුණම බෝර්නියෝ සෙවන්ස් තරගාවලියේ දස්කම් පෑ ක්‍රීඩකයන් කිහිපදෙනකු ගැනත් අවධානය යොමුකරමින් කණ්ඩායම තෝරාගත්තා.’ මයිකල් ජයසේකර මහතා කියා සිටියේය.

0 Comments