මෙරට ජාතික ක්‍රීඩා සංගමයක තේරීම් කමිටු පත්කිරීමේ බලය සහ ක්‍රීඩා සංගමයක් විසින් නම් කරන තේරීම් කමිටු සාමාජිකයන්ට අනුමැතිය ලබාදීම ක්‍රීඩා අමාත්‍යවරයා සතු වූවත් ජාතික රග්බි තේරීම් කමිටුවේ ප්‍රධානි ලෙස කටයුතු කරන මයිකල් ජයසේකර මහතා ඇතුළු එහි සාමාජිකයන් පසුගිය කාලය පුරා එම තනතුරුවල කටයුතු කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව බවට ‘දිනමිණ’ට වාර්තා වෙයි.
රග්බි තේරීම් කමිටුවේ සභාපති මයිකල් ජයසේකර මහතාගේ සහ සෙසු සාමාජිකයන්ගේ කාලය පසුගිය වසරේ අගෝස්තු මස අවසන්වූ අතර ඉන් අනතුරුව නව රග්බි තේරීම් කමිටුවට සාමාජිකයන් නම් කර යැවීම අතපසු කළ ශ්‍රී ලංකා රග්බි සංගමය එම කමිටුවේ නිලධාරීන්ට සිය තනතුරුවල කටයුතු කිරීමට අවස්ථාව ලබාදී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුදැනුමකින් තොරව බවට වාර්තා වෙයි.
මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ එළැඹෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේදී රග්බි තේරීම් කමිටුව අනුගමනය කළ ක්‍රමවේදයට එරෙහිව ඇතැම් පාර්ශ්ව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට පැමිණිලි කිරීමත් සමගය.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලියට කණ්ඩායම නම් කළ ආකාරය පිළිබඳ විවේචන කරමින් වත්මන් රග්බි තේරීම් කමිටුවේ සභාපති මයිකල් ජයසේකර මහතාට එරෙහිව කටයුතු කරමින් සිටින එක්තරා පාර්ශ්වයක් ඔහු තනතුරෙන් ඉවත් කිරීමට උත්සාහ දරමින් සිටින බවට වාර්තා වීමත් සමග මේ කරුණු අනාවරණය විය.
මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් 'දිනමිණ' කළ විමසුමකදී ඒ මහතා පවසා සිටියේ තමා මේ පිළිබඳ දැනුවත් වූයේ මෑතකදී බවය.
‘ජාතික රග්බි තේරීම් කමිටුව වර්තමානයේ කටයුතු කරමින් සිටින්නේ අනුමැතියකින් තොරව බවට මා දැනගත්තේ මෑතකදියි. මේ ගැන මං රග්බි සංගමයේ සභාපතිවරයාට දොස් පැවරුවා. ඔවුන් පසුගිය කාලය පුරා ජාතික කණ්ඩායම තෝරාගැනීම එක්තරා අන්දමකට නීතිවිරෝධී වැඩක්. මේකට වග කියන්න ඕන රග්බි සංගමයයි.’ අමාත්‍යවරයා කීවේය.
‘ගිය අවුරුද්දේ අගෝස්තුවල රග්බි තේරීම් කමිටුවේ කාලය ඉවරවුණා. නමුත් රග්බි සංගමයෙන් මා වෙත ඒ බව දන්වා නෑ. ඒ වගේම රග්බි තේරීම් කමිටුවට නිර්දේශිත නම් කිසිවක් එවා නෑ. මා දැන් ඔවුන්ට දන්වා යැව්වා රග්බි තේරීම් කමිටුව පත් කිරීමට නිර්දේශිත නම් 10ක් ඔවුන්ගේ ජීවදත්ත වාර්තා සමග වහාම මා වෙත යොමු කරන ලෙස.’ අමාත්‍යවරයා කීවේය.
මේ පිළිබඳ අප කළ විමසුමකදී රග්බි තේරීම් කමිටුවේ සභාපති මයිකල් ජයසේකර මහතා කියා සිටියේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිය ධුර කාලය නිමාවීමෙන් පසුවත් එහි කටයුතු කරන ලෙස රග්බි සංගමය දන්වා සිටි බවය. එමෙන්ම ඒ සඳහා පත්වීමේ ලිපි ඉදිරියේදී ලබාදෙන බවට දන්වා සිටියත් එවැනි ලිපියක් මෙතෙක් ලැබී නොමැති බවය.
‘කිහිපදෙනකුට අවශ්‍යවී තිබෙනවා අපිව තනතුරුවලින් ඉවත් කර ඒ වෙනුවට ඔවුන් පත්වෙන්න. මේ සියලු අර්බුද ගොඩනගා ඇත්තේ ඒ නිසයි. හරියට බලනවා නම් පහුගිය කාලයේ අපි කටයුතු කළේ කිසිම පත්වීමේ ලිපියක්වත් නොමැතිවයි. ඒක රග්බි සංගමයේ වගකීමක්.’ මයිකල් ජයසේකර මහතා කීවේය.
ජාතික රග්බි නව තේරීම් කමිටුව ලබන අප්‍රේල් මස 1 වැනිදා පත්වීමට නියමිතය.

0 Comments