Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කවිඳු රාජකීය විදුහල පරාජයෙන් බේරා ගනී

Author(s): 
ෆවුස් මොහොමඩ්

ඩී.එස්.සේනානායක අනුස්මරණ අභියෝගතා පළිහ රාජකීයයෝ රැක ගනිති

සටන්කාමී පිතිහරඹයක නිරතවූ කොළඹ රාජකීය විදුහල් පිලේ මැදපෙළ පිතිකරු කවිඳු මදාරසිංහ නොදැවී ලකුණු 58ක් රැස් කරමින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිලට එරෙහිව පැවැති 139 වැනි නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය ඊයේ ජය පරාජයෙන් තොරව නිමා කරමින් සිය කණ්ඩායම පරාජයෙන් බේරාගත්තේය. එ් අනුව 2016දී මේ තරගය ජයගත් රාජකීය විදුහල් පිල තවදුරටත් තරගයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ඩී.එස්.සේනානායක අනුස්මරණ අභියෝගතා පළිහ රැක ගැනීමට සමත්විය. පසුගිය වසරේදී ද මේ තරගය නිමාවට පත්වූයේ ජයපරාජයෙන් තොරවය.

එස්.එස්.සී.පිටියේ දී දින තුනක් පුරා පැවැති මේ තරගයේ ජයග්‍රහණය සඳහා සාන්ත තෝමස් විදුහල් පිල ලබාදුන් ලකුණු 216ක ඉලක්කය හඹා ගිය රාජකීය විදුහල් පිල දිනය නිමාවනවිට කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 143කි. විශිෂ්ට පිතිහරඹයක නිරතවූ කවිඳු මදාරසිංහ සිය කණ්ඩායම පරාජයෙන් බේරාගනිමින් පන්දු 81කදී නොදැවී ලකුණු 58ක් රැස් කළ අතර ඊට අලංකාර හතරේ පහර 8ක් ඇතුළත් විය. ඔහුට අගනා සහයක් දුන් තෙවිඳු සේනාරත්න ලකුණු 24ක් රැස් කළ අතර දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 56ක සම්බන්ධතාවක් ගොඩගැනීම කැපී පෙනුණි.

කාසියේ වාසිය දිනූ රාජකීය විදුහල් පිලේ නායක පසිඳු සූරියබණ්ඩාරගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විදුහල් පිල සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 166ක් ලබා ඉනිම අත්හිටවූ අතර රාජකීය විදුහල් පිල පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 178කි. අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සාන්ත තෝමස් විදුහල් පිල ඊයේ කඩුලු 6ක් දැවී ලකුණු 227ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවේ ජයග්‍රහණය සඳහා ලකුණු 216ක ඉලක්කයක් රාජකීය විදුහල් පිල හමුවේ තබමිනි.

තරගයේ දෙවැනි දිනය වූ පෙරේදා වර්ෂාව හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් අපතේ ගියත් සිය පළමු ඉනිමේදී සාන්ත තෝමස් විදුහල් පිලට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් සිටීමට රාජකීය විදුහල් පිල සමත්විය. පෙරේදා රාජකීය විදුහල් පිලේ පළමු ඉනිම වර්ණවත් කළ නායක සුරියබණ්ඩාර ලකුණු 46ක් රැස් කිරීමට සමත්වූ අතර කවිඳු මදාරසිංහ රැස් කළ ලකුණු සංඛ්‍යාව 37කි. රාජකීය විදුහල් පිල අසරණ කළ කළණ පෙරේරා ලකුණු 56කට කඩුලු 5ක් දවාලූ අතර ඩෙලොන් පීරිස් ලකුණු 40කට කඩුලු 4ක් බිඳ දැමුවේය. පෙරේදා කිසිවකු නොදැවී ලකුණු 3ක් ලබා සිටි සාන්ත තෝමස් විදුහල් පිල ඊයේ සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6කට ලකුණු 227ක් රැස් කරමින් ඉනිම අත්හිටවනු ලැබීය. සාන්ත තෝමස් විදුහල් පිල වෙනුවෙන් ඊයේ අගනා පිතිහරඹයක නිරතවූ දුලිත් ගුණවර්ධන ලකුණු 59ක් වාර්තා කිරීමට සමත්විය. ඔහුට අගනා සහයක් දුන් ෂැලින් ඩි මෙල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 57කි. සිතාර හපුහින්න දැවී ගියේ අර්ධ ශතකයට ලකුණු 3ක් අඩුවී තිබියදීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට දෙවිදුහලේ විදුහල්පතිවරුන් වන බී.ඒ.අබේරත්න (රාජකීය), මාක් බිල්මෝරියා (ශාන්ත තෝමස්) මහත්වරු සමග වසර 1971 රාජකීය විදුහල් පිලේ නායකත්වය දැරූ ජගත් ප්‍රනාන්දු, ඒ වසරේදී ශාන්ත තෝමස් විදුහල් පිලේ නායකයා ලෙස කටයුතු කළ රවී සතාසිවම්, තරගයට අනුග්‍රාහකත්වය ලබාදුන් ඩයලොග් ආසියාටා සමාගමේ කලාපීය ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරිය, ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, නිල් මහ සටනේ සංවිධායක කමිටුවේ සම සභාපතිවරුන් අෂාන් ද සිල්වා (රාජකීය), එස්. රාජ්මෝහන් (ශාන්ත තෝමස්) මහත්වරු ද එක්වූහ.

තරගයේ වීරයා - කවිඳු මදාරසිංහ (රාජකීය)

හොඳම පිතිකරු - දුලිත් ගුණරත්න (ශාන්ත තෝමස්)

හොඳම පන්දු යවන්නා - මනුල පෙරේරා (රාජකීය)

හොඳම පන්දු රකින්නා - ෂැලින් ද මැල් (ශාන්ත තෝමස්)

සාන්ත තෝමස් පළමු ඉනිම - 166/9 (ඕවර 64.3 - ඉනිම අත්හිටවනු ලදි) සිතාර හපුහින්න 34, මන්තිල විජේරත්න 24 (මනුල පෙරේරා 43/5) සහ දෙවැනි ඉනිම - 227/6 (ඕවර 61 - ඉනිම අත්හිටවනු ලදි) දුලිත් ගුණරත්න 59, ෂැලින් ද මෙල් 57, සිතාර හපුහින්න 47 (මනුල පෙරේරා 45/2)

රාජකීය පළමු ඉනිම - 178 (ඕවර 75) පසිඳු සූරියබණ්ඩාර 46, කවිඳු මදාරසිංහ 37, බිමල් විජේසේකර 23 (කළණ පෙරේරා 57/5, ඩෙලොන් පීරිස් 40/4) සහ දෙවැනි ඉනිම - 143/6 (ඕවර 42) කවිඳු මදාරසිංහ නොදැවී 58, තෙවිඳු සේනාරත්න 24, කාමිල් මිෂාර 22, භාග්‍ය දිසානායක 18 ( ඩෙලොන් පීරිස් 50/3, කළණ පෙරේරා 37/1, කිෂාන් මුණසිංහ 14/1, පවිත් රත්නායක 33/1) 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();