ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ලබාදුන් රුපියල් කෝටි 7.5ක වියදමින් ඉදිවූ බැද්දගාන කෘත්‍රිම පාපන්දු පිටිය විවෘත කිරීම නිමිත්තෙන් ක්‍රීඩා අමාත්‍යාංශ පිල හා පාපන්දු සම්මේලන පිල අතර තරගයෙන් ගෝල් 6 - 1ක දැවැන්ත ජයක් ක්‍රීඩා අමාත්‍යාංශ පිලට හිමි විය.
හිටපු පාපන්දු නායක පාපන්දු සම්මේලන සභාපති අනුර ද සිල්වා හා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ නායකත්වයෙන් කණ්ඩායම් දෙක පිටියට පිවිසි අතර ක්‍රීඩා ඇමැතිවරයාගේ පිල වෙනුවෙන් ප්‍රදීප් කරුණාරත්න හා අනුර කාන්තන් ගෝල් දෙක බැගින්, තිලක් අල්පොන්සු හා වසන්තන් ගෝල් 1බැගින් වාර්තා කළහ. පාපන්දු සම්මේලන පිල වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ජපන් ජාතික පුහුණුකරු විසින් වාර්තා කරන ලදී.
මේ විවෘත කිරීමේ උළෙලේදී අදහස් දක්වූ පාපන්දු සභාපති අනුර ද සිල්වා හා ලේකම් ජස්වර් උමාර් යන මහත්වරු දෙදෙනාම අවධාරණය කළේ තමන් ස්වේච්ඡාවෙන් ක්‍රීඩාවේ දියුණුවට කැපවූ අය බවය.
“පසුගිය කාළයේ අපට එරෙහිව ඇතැම් කුමන්ත්‍රණකාරී පිරිස් මඩ ප්‍රචාරයක් යැව්වා සම්මේලනයේ මුදලින් වැටුප් ගැනීමට උත්සහා කරන බව. ඒක සම්පූර්ණ අසත්‍යයක්. විධායක සභාවේදී යෝජනාවක් ආවා සභාපතිට හා ලේකම්ට වැටුප් දිය යුතුයි කියා. මා එවිට සභාවට පැහැදිලි කළා පාපන්දු ව්‍යවස්ථාව අනුව එවැනි වැටුප් ලබාගත නොහැකි බව. ඒ යෝජනාව ක්‍රියාත්මක නොවී එතැනින් නිමාවට පත් වුණා. ක්‍රීඩා ඇමැතිතුමා ඉදිරියේ අප ඉතා පැහැදිලිව කියනවා වැටුප් ගැනීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව. අප වැටුප් නොගෙන සේවය කරන්නන් බව පැහැදිලිව සදහන් කරනවා” සභාපති අනුර ද සිල්වා මහතා පැවැසීය.
රටපුරා පාපන්දු ලීග් වලට ලක්ෂ 3 බැගින්, මුදල් ප්‍රතිපාදන අදියර කිහිපයක් හා ඉලක්කගත වැඩ සටහන් කිහිපයක් අනුව ලබාදීම ලේකම් ජස්වර් උමාර් මහතා පැහැදිලි කළේය. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අතින් පාපන්දු ලීග්වලට මුදල් ප්‍රදානයක් ද සිදු කෙරුණි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා කොළඹ නගර සභාව අතර ගිවිසුමකින් හෙන්රි පේද්‍රික් පිටියේ කෘත්‍රිම පාපන්දු පිටිය නිර්මාණය කිරීමට ගිවිසුමක් ඇතිකර ගෙන තිබූ අතර පසුව එය වෙනස් වීමෙන් බැද්දගාන පිටියට මේ කෘත්‍රිම ක්‍රීඩා පිටිය ලැබුණි. වසර 2014දී පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගූ මහතා හා කොළඹ නගරාධිපති මුසාමිල් මහතා අතර අස්සන් කෙරුණු ගිවිසුම අනුව නගර සභාවට වැඩි බලතල හිමිවීවීමේ හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හෙන්රි පේද්‍රික් පිටියේ කෘත්‍රිම ක්‍රීඩා පිටිය ඉදි කිරීමට අකමැත්ත පළ කළේය.
එහෙත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ලබාදුන් මුදල් එලෙසම ලබාගෙන බැද්දගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේ කෘත්‍රිම තණතිල්ලක් සහිත පාපන්දු පිටියක් ඉදි කිරීමට පසුව පියවර ගැනීම කාගේත් පැසසුමට හේතුවී තිබේ. මේ කෘත්‍රිම පාපන්දු පිටිය ඉදි කිරීමෙන් පසුව පසුගිය චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ තරග කිහිපයක් ද පැවැති අතර ක්‍රීඩා පිටිය නියම ප්‍රමිතියෙන් යුතු එකක් බව තහවුරුවී තිබේ.
බැද්දගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රීඩකයන්ට, නිලධාරීන්ට නවාතැන් පහසුකම් ඇති අතර දේශන ශාලාවක්, ව්‍යායාම් මධ්‍යස්ථානයක් හා ආපන ශාලාවක් ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ සියලු පහසුකම් නිර්මාණය කොට ඇත.

0 Comments