නිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දියාව තරග එක බැගින් ජයගෙන සිටින හෙයින් කණ්ඩායම් තුනටම ඉදිරියට පැමිණීම උදෙසා විවෘත අවස්ථාවක් නිර්මාණයවී ඇත. සියලු කණ්ඩායම්වලට තවත් තරග දෙක බැගින් ඉතිරිව ඇති බැවින් ඒවා සියල්ල ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත.
ආර්. ප්‍රේමදාස පිටියේ මෙතෙක් පැවැති විස්සයි 20 තරග 30ක් අතුරින් වැඩිම ලකුණු එකතුව පෙරේදා දිනයේ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ විස්මිත ජයක් ලැබීමත් සමග තරගාවලිය ජීවයෙන් පිරුණ එකක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාව ඕවර් 20කදී කඩුලු 6කට ලකුණු 214ක් ලබාගත් අතර බංග්ලාදේශය පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 5කට ලකුණු 215ක් ලබා ජය වාර්තා කළේය.
තරගයේ වීරයා සම්මානය දිනාගත් මුෂිෆීකර් රහීම් පන්දු 35කදී හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් සමග නොදැවී ලබාගත් ලකුණු 72ක බංග්ලාදේශයට ජයග්‍රහණය ලගාකර දුන් විශිෂ්ට ඉනිම විය. ශ්‍රී ලංකා අංක එක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පන්දු 48කදී හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් සමග රැස්කළ ලකුණු 74 හේතුවෙන් ප්‍රීතිමත්ව සිටි ප්‍රේමදාස පිටියේ 35000ක පමණ ක්‍රීඩා ලෝලීන්ට තවත් අලුත් අත්දැකීමක් ලබාදීමට මුෂ්ෆීකර් රහීම්ගේ සිත් ඇඳ ගන්නා සුලු පිතිකරණය ශක්තිමත් විය.
නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය වූ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගැටුම විදුලි ආලෝක ධාරා මැද පස්වරු 7ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ අද ආරම්භ වන අතර එයින් ජය ගන්නා කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පැමිණේ. දැනට කණ්ඩායම් තුනම තරග ජයක් වෙනුවෙන් ලැබෙන ලකුණු 2 බැගින් ලබා සම මට්ටමේ සිටියද, දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම යම්තාක් සැනසිල්ලට හේතුවකි.
නිමාවට පත්වූ තරග දෙකේදීම ශ්‍රී ලංකා පිලේ පිතිකරණ අංශය උසස් මට්ටමක තිබුණද පන්දු යැවීමේදී ප්‍රතිවාදී පිතිකරුවන් මෙල්ල කිරීමේ ශක්තිය අවම විය. වේග පන්දු යවන්නන්ගේ පාලනයකින් තොර පන්දු යැවීම හේතුවෙන් මෙතෙක් පිටියට අවතීර්ණ නොවූ ඉසුරු උදාන හෝ සුරංග ලක්මාල් වැන්නකුට අද තරගයේදී දොරටු විවර වුවහොත් එය පුදුමයට කරුණක් නොවේ. ඉසුරු උදාන බංග්ලාදේශයේ පැවැති විස්සයි 20 තරගාවලියේදී දස්කම් දැක්වූ අතර සුරංග ලක්මාල් පසුගිය කාලයේ විශ්වාසයකින් යුතුව පන්දු යැවූ ක්‍රීඩකයෙකි.
ඉන්දීය ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් හා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් යන දෙදෙනාම ලකුණු අතර සිටින හෙයින් ආරම්භය පිළිබඳ දෙපිලේම විශ්වාසය තහවුරුවී ඇත. කුසල් ජනිත් පෙරේරා නිමාවූ තරග දෙකේදීම ප්‍රබල දස්කම් දැක්වුවද ඉන්දීය පිලේ මනීෂ් පාන්ඩේ හැර යම් දුරකට සාර්ථක වූ පිතිකරුවෙකු දක්නට නොමැතිවීම ගැටලුවකි.
මැද පෙළ පිතිකරුවන් වූ සුරේෂ් රෙයිනා හා දිනේෂ් කාර්තික් යන දෙදෙනාම නිමාවූ තරග දෙකේදී හිස එසැවීමට සමත් නොවීමත්, එම්. එස්. දෝනීගේ තැනට පැමිණි කඩුලු රකින පිතිකරු, 20 හැවිරිදි රිෂාබ් පාන්ට් ලකුණු අතරට නොපැමිණීම ද ක්‍රිකට් විචාරකයන්ගේ කතා බහට ලක්ව ඇති කරුණකි. එහෙයින් කේ. එල්. රාහුල් ට අද තරගයේදී ස්ථානයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැක.
ශ්‍රී ලංකා සංචිතය: දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උපනායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, අකිල ධනංජය, අමිල අපෝන්සු, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා.
ඉන්දීය සංචිතය: රෝහිත් ෂර්මා (නායක), ශිකර් ධවාන් (උපනායක), ලෝකේෂ් රාහුල්, සුරේෂ් රයිනා, මනිෂ් පාන්ඩේ, දිනේෂ් කාර්තික්, දීපාක් හූඩා, වොෂිංටන් සුන්දර්, යුස්වෙන්දර් චාහල්, අක්සාර් පටේල්, විජේ ශංකර්, ශර්දුල් ටාකුර්, ජේදේව් උනඩ්කර්, මොහොමඩ් සිරාජ්, රිෂාබ් පාන්ට්.

0 Comments