ශ්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 19 වන වරටත් සංවිධාන කරනු ලැබු ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත ශුරතාව ගුවන් හමුදාව සතුකරගත් අතර සමස්ත පාපැදි සවාරියේ ශුරයා බවට මධුසංඛ ප්‍රනාන්දු සම්මාන දිනාගත්තේය. මෙම තරගාවලිය සඳහා මෙරට ප්රමුඛ පෙලේ පාපැදි තරගකරුවන් 170 කට අධික ප්‍රමාණයක් සහභාගී වූහ.
දින තුනක් පුරා පැවති පිරිමි පාපැදි සවාරියේ ප්‍රථම දිනය කොළඹ සිට පුත්තලම දක්වා වු අතර එහි දුර ප්‍රමාණය කි.මි 124.9 කි. දෙවන අදියර පාලවි සිට හිගුරක්ගොඩ දක්වා වු අතර එහි දූර ප්‍රමාණය කි.මී. 172.6 කි. පොළන්නරුව සිට සිට අම්පාර දක්වා තුන්වැනි අදියරේ තරගාවලිය පැවැත්වු අතර එය අම්පාර තරුණ සේවා මධ්‍යස්ථානය අසලින් අවසන් විය. එහි දූර ප්‍රමාණය කි.මී. 149.9 කි. මෙම තරගාවලියේ සම්පූර්ණ දුර ප්‍රමාණය කි.මී 445.9 කි.
මීට සමගාමීව කාන්තා තරගය මඩකලපුව කල්ලඩි පාලම අසලින් ආරම්භ වී අම්පාර තරුණසේවා මධ්‍යස්ථානය ඉදිරිපිටින් අවසන් විය. එහි දුර ප්‍රමාණය කි.මී. 65.2 කි. කාන්තා තරගයේ සමස්ත ශුරතාව ගුවන් හමුදාව විසින් හිමිකරගත් අතර තරගයේ ප්‍රථම ස්ථානය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කළ නිලුකා ශාමලි හිමිකර ගත්තාය.
තරගාවලියේ ජයග්‍රාහිකයන් සදහා ත්‍යාග ප්‍රදානොත්සවය අම්පාර ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
0 Comments