රටේ නීතිය ක්‍රියාත්මකවීමේ දී පළාත් අනුව වෙනස් වන්නේ කෙසේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රශ්න කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (01) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
"තඹුත්තේගම ගොවීන්ට පොලිසිය විසින් පහර දෙන විට ගොවි ජනතාව අතරින් මතු වු නායකයෝ බලා සිටියේ කෙසේද. එමෙන්ම පොලීසිය ද උතුරේ උද්ඝෝෂණ දෙස එක් අකාරයකටත්, දකුණේ උද්ඝෝෂණ දෙස තවත්ආකාරයකටත් නීතිය ක්‍රියාත්මක කිරීම කනගාටුවට කරුණක්. පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබා දුන් පණිවුඩය පිළිගන්න මේ ආණ්ඩුව කැමති නෑ. ආණ්ඩුවට ජනතාවගේ හඬ ඇහෙන්නේ නෑ. ජනතාව විඳින දුක පේන්නේ නෑ. මුද්දරයකට සීල් තැබුවාම වටිනාකමක් නෑ. සීල් එක ගහපු මුද්දර අවශ්‍ය මුද්දර එකතු කරන පිරිස්වලට පමණයි. මේ ආණ්ඩුවත් සීල් එකක් වැදුණු මුද්දරයක් වගේ. කිසිම වටිනාකමක් නෑ.
පොලීසිය භාර දී තියෙන්නෙත් අගමැතිවරයාටයි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින අගමැතිවරයා පොලීසියට භාර දිය යුතුයි. නමුත් ඒ මහතාට පොලීසිය භාර දීලා. මෙහෙම රටක් වෙන කොහොද තියෙන්නේ. පසුගිය සතියෙ දී සිදු කළ කැබිනට් සංශෝධනයෙන් සියලූ ප්‍රශ්න යට ගැසිය හැකි යැයි ආණ්ඩුවේ ලොක්කන් හිතනවා.
බලය වෙනුවෙන් මේ දොගොල්ල ඕනෑම දෙයක් කරනවා. මේ දෙගොල්ලන්ගෙම ලැජ්ජා නහරය කපලා. හෙට පළාත් සභා මැතිවරණය තිබ්බත් පොදුජන පෙරමුණට අතිවිශිෂ්ට ජයක් ලැබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න පාර්ලිමේන්තුව විසිරවීමට අවශ්‍ය සහයෝගය අපි දෙන්නම්. මේ දෙගොල්ල එකම පූට්ටුවෙන් ආවත් මහා මැතිවරණය දිනන්නෙත් අපිමයි."
පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා
"එක්සත් ජාතික පක්ෂය 2015 ජනවාරි මස 08 වැනි දාට පෙර තිබූ තත්ත්වයට නැවත පැමිණ තිබෙනවා. ජනවාරි 8 වැනිදාට පෙර තිබුණේ කෑළි කෑළිවලට කැඩිලා වික්‍රමසිංහ මහත්තයා තනතුරින් එළවන්න සූදානම් වු වැඩපිළිවෙළක් එදා ක්‍රියාත්මක වුණා.
නමුත් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජය ගත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්සත් ජාතික පක්ෂයට හා වික්‍රමසිංහ මහත්තයාට ඔක්සිජන් දුන්නා. දැන් යළිත් වතාවක් රංගේ බණ්ඩාර, වසන්ත සේනානායක, මයන්ත දිසානායක ඇතුළු පිරිස රනිල්වික්‍රමසිංහ මහතා තනතුරින් ඉවත් කරන්න අරගලයක් පටන්ගෙන තිඛෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඔබ නොසිතන නායකයන් මේ විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරනවා. ඒ අරගලයට ඒකාබද්ධ විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලය සම්බන්ධ ව්‍යාපෘතියක් ආරම්භ කළ සෑම අවස්ථාවකදීම පානීය ජලය නිකුත් කිරීමේ වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හෝ මහවැලි සංවර්ධන අධිකාරිය විසින් භාර ගන්නවා. අපේ දිස්ත්‍රික්කයේ කන්න හතරකින් කුඹුරු ගොවිතැන කරලා නෑ. ඔවුන්ට කිසිම ආදායමක් නෑ. නමුත් රජය ජනතාව දැනුවත් නොකර ඔවුන්ගේ හඬට කන්නොදී කටයුතු කිරීමෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතවෙන්න පුළුවන්.
ගොවීන් විසින් ආරම්භ කළේ ඉතාම සාමකාමී උද්ඝෝෂණක්. එය ඉතාම සාධාරණයි. රජය ගොවියාගේ හඬට කන් දිය යුතුයි. නමුත් පොලීසිය යොදවමින් කළ මේ පහරදීම අපි පිළිකුලෙන්හෙළා දකිනවා. කෘෂිකර්ම ඇමැතිවරයා නියෝජනය කරන කලාවැව ආසනයේ ගොවීන් තමයි මේඋද්ඝෝෂණය කළේ. සිවිල් ඇඳුමින් සැරසුණ පුද්ගලයන් පවා ගොවි ජනතාවට පහර දෙන ආකාරය අපි දැක්කා. ඒ නිසා මේ පහරදීම් සිදු කළේ පොලීසියම ද කියලා අපිට සැකයක් තිබෙනවා.
මේ වසර අවසාන වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට සම්පූර්ණයෙන්ම පානීය ජලය ලබා දෙන්න අපි සැලසුම් සකස් කර තිබුණා. එහි එක් පියවරක් ලෙස කනදරාව ජල යෝජනා ක්‍රමය ආරම්භ කළා. එදා රතු පස්වල සිද්ධිය වැරැද්දක් ලෙස දැකපු මේ අය තඹුත්තේගම දී ගොවීන්ට පහර දුන් ආකාරය අපි දැක්කා.
එමෙන්ම අගමැතිවරයාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයෙන්ම මේ වෙලාවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සඳහා සොය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණ මුලින් ප්‍රකාශ කළා. නමුත් විශ්වාසභංග යෝජනාවේ අඩංගු කරුණු පිළිබඳව සලකා බලා සහාය පළ කරන බව ඔවුන් දැන් කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂය සමඟ ඩීල් එකක් දාලාද කියලා අපිට සැකයක් ඇති වී තියෙනවා."
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා
"පළාත් පාලන මැතිවරණයෙන් ලංකා පොදුජන පෙරමුණ ඓතිහාසික ජයක් ලබා ගත්තා. ඒ ජයෙන් පසුව පවත්වන පළමු මහජන රැලිය ලබන 07 වැනි දා නුගේගොඩ දී පවත්වනවා. 2015 ජනවාරි මස 08 වැනි දා මේ ආණ්ඩුවට ලැබුණු ජන වරම ජනතාව විසින් පසුගිය 10 වැනි දා අහෝසි කර දැම්මා. ඒ අනුව මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. දැන්අගමැතිවරයා ඉල්ලා අස් වී නව ආණ්ඩුවක් පත් කළ යුතු බව මුළු රටම ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ ඉන්න කොන්දක් තියෙන ශ්‍රීලනිප ඇමැතිවරන්ට එදාට ඒකාබද්ධ විපක්ෂයේ වේදිකාවට ගොඩ වීමට හැකියාවක් තිබෙනවා.
මේ වන විට මැතිවරණය පවත්වා මාසයකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. පළාත් පාලන ආයතන ටික පිහිටුවන දිනය ගැන නිශ්චිතව ම මැතිවරණ කොමිසමට කියා ගන්න බැරි වී තිබෙනවා. ආණ්ඩුවේ අකාර්යක්ෂම බව නිසා මැතිවරණයෙන් පසුව රට අස්ථාවර වෙලා."
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණතුංග, කනක හේරත, අරුන්දික ප්‍රනාන්දු මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.
0 Comments