වංචා දූෂණ චෝදනාවලට සිවු වන වරටත් වැරදිකරු යයි තීන්දු කෙරුණ බිහාර් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති ලාලූ ප්‍රසාද් යාදව්ට නැගෙනහිර ඉන්දියාවේ අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම විය. ලාලූ ප්‍රසාද් යාදව් සහ තවත් හතළිස් එක් දෙනකු චෝදනාවලට වරදකරුවන් වන බව එම විශේෂ අධිකරණය විසින් තීන්දු කරනු ලැබුණි. නඩුවේ චූදිතයන් අතර දේශපාලනඥයෝ සහ ආණ්ඩුවේ හිටපු නිලධාරීහු ද වූහ.
ඔහුට සම්බන්ධ චෝදනාව වූයේ 'ෆොඩර් වංචා' යනුවෙන් ප්‍රසිද්ධ වූ දූෂණ අපචාර සම්බන්ධයෙන් ඔහුගේ භූමිකාව සම්බන්ධයෙනි.
බිහාරයේ ගවයන්ගෙන් යැපෙන දුප්පත් ගොවීන්ට අවශ්‍ය පිදුරු ඇතුළු සත්වාහාර සැපයීම සඳහා වෙන් කරන ලද ඩොලර් කෝටි ගණනක් 1990 දශකයේ සිදු කරනු ලැබ ඇති එම මූල්‍ය අපචාරයේ දී රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වංචා කළ බවට හිටපු මහ ඇමති ලාලූ ප්‍රසාද් යාදව් ඇතුළු කණ්ඩායමකට චෝදනා ඉදිරිපත් කරනු ලැබ තිබුණි. ගව ආහාර සැපයුමේ දී සිදු කරන ලද තවත් වංචාවක් සම්බන්ධයෙන් පැවරූ නඩුවකට වරදකරු කරනු ලැබ සිටින ලාලූ ප්‍රසාද් යාදව් පසුගිය දෙසැම්බර් මාසයේ සිට දැනටමත් සිරභාරයේ පසුවෙයි.

0 Comments