දික්වැල්ල-සදීර-ළහිරු කුමාර-වැන්ඩේසේ-අසිත එළියට
වේගපන්දු යවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් එළැඹෙන නිදහස් කුසලාන විස්සයි20 තුන්කොන් තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට වසරකට පසුව සුරංග ලක්මාල් කැඳවා තිබේ. ඔහු විස්සයි20 කණ්ඩායමට එක්වී සිටින්නේ පසුගිය වසරේ ජනවාරියේ දකුණු අප්‍රිකානු සංචාරයේ පැවැති විස්සයි20 තරගාවලියෙන් පසුවය. මීට අමතරව එම තරගාවලියෙන් පසුව පළමුවරට ධනංජය ද සිල්වාට ද කණ්ඩායමේ ස්ථානයක් හිමිවී තිබේ.
ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ මස 6 වැනිදා ආරම්භ වන මේ තරගාවලියේදී ප්‍රතිවාදී කණ්ඩායම් වන ඉන්දියාවට සහ බංග්ලාදේශයට දැඩි අභියෝගයක් එල්ල කරමින් ශ්‍රී ලංකා සංචිතයට එක්වී සිටින වේගපන්දු යවන්නන්ගේ සංඛ්‍යාව 4කි.
සුරංග ලක්මාල් විස්සයි20 කණ්ඩායමට කැඳවමින් උපනායකත්වය පිරිනමා ඇති අතර නුවන් ප්‍රදිප්, දුෂ්මන්ත චමීර සහ වමත් වේගපන්දු යවන ඉසුරු උදාන සෙසු වේගපන්දු යවන්නෝ වෙති.
මීට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට එක්වී සිටින තිසර පෙරේරා සහ දසුන් ශානක ද මඳවේග පන්දු යවන්නන් ලෙස වැඩි කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආබාධයකට ලක්වී සිටින ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවට ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතුව නිදහස් කුසලාන තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා පිලට දඟපන්දු යවන්නන් ලෙස එක්වී සිටින්නේ අකිල ධනංජය සහ අමිල අපොන්සු පමණි. මිට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස එක්වී සිටින ජීවන් මෙන්ඩිස් ද පාදඟ පන්දු යවන්නෙකි.
මෙවර නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල ඇතුළත් නොවීම කැපී පෙනේ. බංග්ලාදේශයට එරෙහිව පසුගියදා පැවැති විස්සයි20 තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 11කට දැවී ගිය දික්වැල්ලට දෙවැනි තරගය ද අහිමිවී තිබිණි.
පසුගිය කාලයේ ආබාධයට ලක්වී සිටි ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද යළි කණ්ඩායමට එක්වී සිටී.
මේ අනුව නිදහස් කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පසුගියදා නම් කළ ක්‍රීඩකයන් 20 දෙනාගේ සංචිතයෙන් දික්වැල්ලට අමතරව සදීර සමරවික්‍රම, ළහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩේසේ සහ අසිත ප්‍රනාන්දු ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුවට සමගාමීව පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 තරගාවලියේ පළමු තරගය මේ මස 6 වැනිදා සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙයි. සෑම තරගයක්ම අදාළ දිනයන්හි පස්වරු 7.00ට ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම මෙසේය.
දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උපනායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, අකිල ධනංජය, අමිල අපෝන්සු, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා.
0 Comments