මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමිය සංවිධාන කරන ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින නියෝජනය කරන නිදහස් කුසලාන අන්තර්ජාතික පාපන්දු තරගාවලිය මේ මස 24 හා 25 දිනවල රීඩ් මාවත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම් 20ක් සහභාගීවන මේ තරගාවලියට තරග 35ක් ඇතුළත් වේ. මේ තරගාවලියට ජාත්‍යන්තර පාසල් 4ක් රජයේ පාසල් 4ක් හා පාපන්දු පුහුණු ඇකඩමි 4ක් එක් කිරීමට කටයුතු යොදා තිබේ.
මේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවෙන් හා මාලදිවයිනෙන් බිහිවූ ප්‍රවීණ පාපන්දු ක්‍රීඩකයන් 30කට උපහාර සම්මාන ප්‍රදානය කිරීමක් මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමිය මගින් සිදු කිරීමට නියමිතය.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නීති රීති වලට අනුකූලව පැවැත්වෙන මේ තරගාවලිය කාණ්ඩ 5ක් යටතේ පැවැත්වෙන අතර දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වේ.
අවසන් පූර්ව වටය හා අවසන් මහා තරගය විදුලි ආලෝක ධාරා මැද පැවැත්වීමට මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමිය කටයුතු යොදා ඇත. තරගාවලියේ වැඩිම ගෝල් වාර්තා කළ ක්‍රීඩකයාට ‘ගෝල්ඩන් බූට් සම්මානය’ ප්‍රදානය කෙරෙණ අතර විවිධ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන්ට වෙන වෙනම විශේෂ සම්මාන ප්‍රදානය කෙරේ.
මේ පිළිබඳ මාධ්‍ය හමුවක් පෙරේදා පාපන්දු නිවහනේ දී පැවැති අතර මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමි සභාපති ඔගස්වින් ජෝර්ජ් මහතා පැවැසුවේ පාපන්දුවේ දියුණුව වෙනුවෙන් පිහිටවූ තම ආයතනය වසරක් වැනි කෙටි කලක් තුළ විශාල ප්‍රගතියක් පෙන්වා ඇති බවයි.
“කොළඹ ප්‍රාද්ශයෙන් ආරම්භවූ අපේ ඇකඩමිය දැන් පිට පළාත් කිහිපයක පාඨමාලා ආරම්භ කොට තිබෙනවා. පොළොන්නරුව බකමුණ ප්‍රදේශයේ අපගේ ඇකඩමිය ක්‍රියාත්මකයි. මේ ඇකඩමිය ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඇති කළ එකක් නොවේ.
තියෙන අයගෙන් අරන් අපි නැති බැරි දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව රැසක් දැන් ලබාදී තිබෙනවා” මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමි සභාපති ඔගස්වින් ජෝර්ජ් මහතා පැවැසීය.
මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමියේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ මුහීඩ් ජුරාන් මහතා ඇතුළු පිරිසක් මේ මාධ්‍ය හමුව ඇමැතූහ.
0 Comments