පොලී අනුපාතිකවල මෑතකදී ඉහළයෑමක් සිදු වන්නේ නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
ඉදිරි කාලයේදී දේශීය පොලී අනුපාතිකවල ඉහළයෑමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන්නේ යැයි මෑතකදී පළවූ දෝෂ සහිත මාධ්‍ය වාර්තා කිහිපයක් පිළිබඳ අවධානය යොමුකොට මහබැංකුව මේ කරුණු අවධා රණය කොට ඇත.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන මහ බැංකුව මෙසේද කියා සිටියි.
ඉදිරි කාලයේදී දේශීය පොලී අනුපාතිකවල ඉහළ යෑමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන්නේ යැයි මෑතකදී පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයක් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ඇත. මෙම වාර්තාවල පොලී අනුපාතික ඉහළ යෑමක් අපේක්ෂා කිරීම සඳහා හේතු වූ සාධක ලෙස සංචිත පහළ යෑම, අපේක්ෂිත මට්ටමට වඩා වූ ඉහළ ආනයන සහ රාජ්‍ය සුරැකුම්පත්වලට අදාළ ඉහළ ගිය පොලී අනුපාතික යනාදිය දක්වා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන පුරෝකථනවලට අනුව, මෑත කාලීනව වෙළඳපොළ පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. මතුපිට උද්ධමනය, මූලික උද්ධමනය, උද්ධමන අපේක්ෂා, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය, ණය ප්‍රසාරණය, ආර්ථක කටයුතුවල ප්‍රසාරණය මෙන්ම ජාත්‍යන්තර සංචිත මට්ටමෙහි මෑත කාලීන වෙනස්වීම්වලට අනුව තාර්කික වෙළඳපොළක් පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා කරන්නේ යැයි සාධාරණීයකරණය කළ නොහැක.
ආහාර උද්ධමනයෙහි සිදුවූ පහළ යෑමත් සමඟ අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ ඉල්ලුමෙන් ඇතිවන උද්ධමනය පිළිබිඹු කරන දර්ශකයක් වන මූලික උද්ධමනය පහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකා මහ බැංකුවේ උද්ධමන අපේක්ෂා සමීක්ෂණයට අනුව උද්ධමන අපේක්ෂා මධ්‍යස්ථ මට්ටමකට පැමිණ ඇත. උද්ධමන පීඩනයක් ඇති නොකොට සමස්ත ඉල්ලුමෙහි ඉහළ යෑමක් සඳහා තවදුරටත් අවකාශ ඇති බව පෙන්නුම් කරමින් ආර්ථික වර්ධනය ආර්ථිකයට ළඟා විය හැකි උපරිම මට්ටමට වඩා පහළ අගයක පවතී.
2017 වසර අවසානය වන විට පුළුල් මුදල් ප්‍රසාරණය සහ ණය ප්‍රසාරණය අපේක්ෂිත මට්ටම් දක්වා පහළ ගොස් ඇත. රාජ්‍ය මූල්‍ය අංශය සම්බන්ධව, ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ රාජ්‍ය ආදායම වැනි ඇතැම් දර්ශකවල වැඩිදියුණු වීමක් පෙන්නුම් කර ඇත.
විදේශීය අංශය සැලකූ විට, නිල විදේශ සංචිත 2016 වසර අවසානයේ පැවති එ.ජ.ඩොලර් බිලියන 6.0 හා සාපේක්ෂව වර්තමානයේදී එ.ජ.ඩොලර් බිලියන 7.9 ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. නිල සංචිතවල සංඛ්‍යාත්මක සහ ගුණාත්මක යන දෙඅංශයෙන්ම වර්ධනයක් වාර්තා වී ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව 2017 වසරේදී දේශීය වෙළෙඳපොළෙන් ශුද්ධ පදනම මත එ.ජ.ඩොලර් බිලියන 1.7ක් සහ 2018 වසරේ මේ දක්වා කාලය තුළදී එ.ජ.ඩොලර් මිලියන 284 ක් මිලදී ගෙන ඇත.
මෑත කාලීන ගෝලීය වෙළඳපොළ වර්ධනයන් ස හ ආර්ථිකමය නොවන සාධක හේතුකොටගෙන ඇති වූ දේශීය අවිනිශ්චිතතා හේතුවෙන් පෙබරවාරි මාසයේදී දේශීය වෙළඳපොළ තුළ යම් විචල්‍යතාවක් ඇති වුවද, මෙම විචල්‍යතාව කෙටි කාලයක් පමණක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදේශීය විනිමය වෙළඳපොළ යළි ස්ථායී මට්ටමකට දැනටමත් ළඟා වී ඇති අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ තුළ වූ අවිනිශ්චිතතා සැලකිය යුතු ලෙස පහව ගොස් ඇත.
එසේ හෙයින්, පොලී අනුපාතිකවල අනාගත වෙනස්වීම් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂා සම්බන්ධ වූ දෝෂ සහගත මාධ්‍ය වාර්තා තුළින් නොමග නොයන ලෙස පොදු මහජනතාවට අවවාද කෙරේ.
0 Comments