අල්ලස්, දූෂණ, මිණිමැරුම් නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා දිනපතා නඩු විභාග කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීම සඳහා වන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අද (6දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතින් 12 වැනි වගන්තියට තවත් අලුත් වගන්ති තුනක් ඇතුළත් කිරීම මඟින් පනත සංශෝධනය කරනු ලබයි.
අල්ලස් දූෂණ මිනීමැරුම් සිදුකළ අයට මෙසේ පිහිටුවන මහාධිකරණ පිහිටුවීමට අදාළ ඇමැති මණ්ඩල යෝජනාව අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය ඉදිරිපත් කර තිබිණ.
අදාළ සංශෝධන යටතේ පිහිටුවනු ලබන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණයේ විනිශ්චයකාරවරයන් අතුරින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ලබන, එකවර විනිශ්චය සභාරූඩවන විනිශ්චයකාරවරයන් තිදෙනකුගෙන් සමන්විත වනු ඇත.
ඉන් එක් විනිශ්චයකාරවරයකු එම අධිකරණයේ සභාපතිවරයා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ඇත.
අධිකරණ ඇමැතිවරයා විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවන ස්ථාන දැක්වීම අධිකරණ සේවා කොමිෂන් සභාව විමසා සිදුකළ යුතු අතර ඇමැතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින්, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමේදීත්, අධිකරණ සේවා කොමිෂන් සභාව විමසිය යුතුව ඇතැයි පනතෙහි දක්වා ඇත.
අලුතින් පිහිටුවනු ලබන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියෙහි ඇති නඩු විභාගයක්, නීතිපතිවරයා විසින් හෝ අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන අධිචෝදනා පත්‍රයක් මත පවත්වනු ලැබිය යුතු අතර එම නඩු ඉක්මනින් පවත්වා අවසන් කරනු ලැබිය යුතු බව ද පනතෙහි සඳහන් වේ.
එම නඩු දිනපතා විභාග කළ යුතු බවත් නඩු විභාග වන දිනයක නිශ්චිත නීතිඥවරයකුට වෙනත් අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක පෙනී සිටීමට යොදාගෙන තිබීම හෝ යම් හේතුවක් මත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නොහැකිවීම, නඩු විභාගය ආරම්භ කරන දිනය කල් දැමීමට හේතුවක් නොවිය යුතු බව ද පනතෙහි දක්වා ඇත.
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවත්වන ලද නඩු විභාගයක දී ප්‍රකාශයට පත්කරන ලද තීන්දුවක් සම්බන්ධයෙන් වන අභියාචනයක් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද දිනයේ සිට දින 28ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු වේ.
0 Comments