Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර සිද්ධිය ‍ෆේස්බුක් කල්ලියක් ඇතිකළ විනාශයක්

 මහනුවර පසුගියදා ඇතිවුණේ ෆේස්බුක් කල්ලියක් විසින් සිදු කරන ලද විනාශයක ප්‍රතිඵලයක් බව අධිකරණ ඇමැතිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.

කිසියම් අයකු මෙය පිළිනොගත්තද සත්‍යය එය බව පැවසූ ඇමැතිනී අතුකෝරල මහත්මිය නුවර ප්‍රශ්න ඇතිකළ උදවියට පවතින නීතිය යටතේ උපරිම දඬුවම් ලබාදෙන බවත් ප්‍රකාශ කළාය.

වසර තිහක ජාතිවාදයෙන් බැටකමින් ජීවිත රැසක රුධිරයෙන් මහපොළව තෙත් කළ යුගයකට නැවත යාමට සූදානම් නැති බව පැවසූ ඇමැතිනී අතුකෝරල මහත්මිය එවන් තත්ත්වයක් රටේ යළි ඇති නොවීමට කැපවීමෙන් ක්‍රියා කරන බවත් පැවසුවාය.

රත්නපුර දිස්ත්‍රික්කයේ වසරකට රුපියල් කෝටි තුන්සිය අනූහයක මත්පැන් පානය කරන බව අනාවරණය වී තිබෙන බව පැවසූ ඇමැතිවරිය මෙය පවුල් ආරවුල් සහ අපරාධ වැඩිවීමට ප්‍රබල හේතුවක් වී තිබෙන බවත් ප්‍රකාශ කළාය.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා සංගම් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම වෙනුවෙන් පැවති උත්සවයකට පෙරේදා (11) එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

ගම්වල නගරවල සිංහල මුස්ලිම් ජනතාව දශක ගණනාවක් තිස්සේ හොඳින් ජීවත් වුණා. කුරුවිට සිද්ධියක් වුණා. මවුලවිතුමා ඉන්නා කාමරයට පෙට්රල් බෝම්බයක් ගැහුවා. අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිසිය හරියාකාරව ක්‍රියාත්මක වුණ නිසා කුරුවිට පොලිස් ස්ථානාධිපතිතුමාගේ ක්‍රියාකාරිත්වය නිසා හරියටම ඒක හොයා ගන්න පුළුවන් වුණා. ඒ සිද්ධියේ අත් අඩංගුවට ගත් පළමු චුදිතයාගේ වයස අවුරුදු 18 යි. නුවරින් පටන් ගත්ත මේ ෆේස් බුක් කල්ලිය මුළු රටේම ව්‍යාප්ත කරලා තියෙන්නේ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් පැවැත්ම වෙනුවෙන් මෙවැනි දේ සිදු වී තිබෙනවා.

ජාතිවාදය නිසා ආබාධිත වුණු අංගවිකල වුණු හමුදාවේ සිය ගණනක් දහස් ගණනක් සහෝදර සහෝදරියෝ අපි අතර ඉන්නවා. දෙමව්පියෝ නැති වෙච්ච අය කී දෙනෙක් ඉන්නවාද. සරත් ෆොන්සේකා මහත්තයාගෙන් පටන් ගත්තාම කී දෙනෙක්ගේ ලෙයින් මේ මහ පොළොව තෙත් වුණාද?

ජාතීන් අතර සමගියේ නායකත්වය ජනතාව ගත යුතුයි. නගරයේ ජීවත් වෙන කොට මේක අරයගේ කඩේ මේක මෙයාගේ කඩේ මේක වඳ බෙහෙත් කඩේ එහෙම කියලා නැහැ. අපි ඔක්කෝම එකයි. පසුගියදා අම්පාර ප්‍රදේශයේ සිද්ධියක් වුණා. වඳ පෙත්තක් පිළිබඳව සමාජයේ කථාබහට ලක් වුණා. ඒ පෙත්ත පිළිබඳව රස පරීක්ෂක වාර්තාව මේ වන විට ලබා දී තිබෙනවා. ඒ වාර්තාව අධිකරණයට ලබා දෙනවා. ඒ වාර්තාව පිළිබඳව ඔබට පුදුම හිතෙයි. මේ පෙත්තකින් ද මේ වගේ විනාශයක් වුණේ කියලා.

ඒ වගේ ම මේ ප්‍රදේශයේ හිමිනමක් කියලා තිබෙනවා. ආණ්ඩුව තමයි මේවට වගකියන්න ඕන වගකීම භාරගන්න ඕන කියලා. ආණ්ඩුව ඉන්නේ වගකීම භාර ගන්න විතරක් නෙමෙයි මේවා මැඬ පවත්වලා අපරාධ කරපු අයට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරනවා කියන එකත් මම මේ අවස්ථාවේදී කියන්න ඕන. කවුද තෙල්දෙණිය දිගන විනාශය කලේ. රත්නපුරේට ඇයි මේ තත්ත්වය ආවේ. කුරුවිට සිද්ධියට සම්බන්ධ ළමයා මළ ගෙදරක යන්න කොළඹින් තවත් දෙන්නෙක් එක්ක ඇවිත් තියෙන්නේ. හැබැයි මම ඒ ළමයාගේ තාත්තාට ගරු කරනවා. තාත්තාට පුළුවන්කමක් තිබුණා තමන්ගේ ළමයා ගෙනත් පොලිසියට භාර දෙන්න. මතක තියා ගන්න නීතිය තදයි. අපි යහපාලනය කියලා ආවේ. වෙනස පටන් ගත්තට ඒ වෙනස දැනුණේ නැහැ. ඒ වෙනස ඇති කරන්න තමයි අපි හරියාකරව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙන්නේ. අපි කිසි ‍කෙනෙකුට ජාති වාදී වෙන්න බැහැ. රජයක් ලෙස අපි මේ රටේ ජීවත් වෙන සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සූදානම්. මේ රටේ තරුණ තරුණියන් වන ඔබට මේ රටේ අනාගතයක් තිබෙනවා. ඒ ගැන හිතන්න. මේ නුවර සිද්ධියට නායකත්වය දුන් කෙනා අනගාරික ධර්මපාලතුමාගේ නමත් මේකට යොදා ගෙන තිබෙනවා. ධර්මපාලතුමාත් මුස්ලිම් ජාතියට විරුද්ධ වුණාලු. අපි කනගාටු වෙනවා ධර්මපාලතුමා වැනි විශිෂ්ට අයගේ නම් මේවාට යොදා ගැනීම පිළිබඳ බෞද්ධයන් වන අපි ඔක්කෝම මිනිසුන් යන හැඟීමෙන් එකම වර්ගයක් ලෙස ජීවත් විය යුතුයි. අපි අතර දේශපාලන ආදී පුද්ගලික මති මතාන්තර තිබෙන්න පුළුවන්.

මොනතරම් වැඩ කොටසක් අපි පසුගිය කාලයේ කළාද. ඒත් සමහර අය මැතිවරණයේදී වෙනත් වෙනත් දේවල් ගැන හිතලා තමයි ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ. අපි කියන්නේ නැහැ මේ මැතිවරණ ක්‍රමය දූෂිතයි කියලා. අපි බඩු බෙදලා දේශපාලනය කරන පක්ෂයක් නෙමෙයි. පසුගිය කාලයේ වගේ අල කිලෝ දෙක දෙක බෙදලා ඡන්දය ගන්නේ නැහැ. සමෘද්ධිය හරහා දුප්පත්කම පවත්වා ගෙන යන පක්ෂයක් නෙමෙයි අපි නියෝජනය කරන්නේ අපි සියලු දෙනාම ජනතා මතයට ගරු කරන්න හිස නමන්න ඕන. සමහර විට අපි පරදිනවා දිනනවා ජය පරාජ අපට හොඳට දරා ගන්න පුළුවන් විය යුතුයි. ක්‍රීඩාවත් එහෙමයි. ජය පැරදුම දෙකම තිබෙනවා. පැරදුනු ගමන් බෝලය පොළොවේ ගැහුවට වැඩක් නැහැ දේශපාලනයේදීත් එහෙමයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();