පසුගිය පාලන කාලයේදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ඊ. සර්විසස් ලංකා සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි නවයක පමණ මුදලක් යොදවා තිබුණත් මේ වන තෙක් එම මුදලින් එකම රුපියලක්වත් ආපසු නොගෙවීම නිසා රජයට රුපියල් කෝටි පනහකට ආසන්න මුල්‍ය හානියක් සිදුවී ඇති බව අනාවරණය වී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ මහතා චන්ද්‍රිකාවක් කක්ෂගත කරනු ලැබුවේද ඊ සර්විසස් ලංකා සමාගම හරහා බවද වාර්තා වෙයි.
2007 වසරේදී මෙසේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව රුපියල් 90,275,000ක් සමාගම් අරමුදලින් ආයෝජනය කර තිබුණි. මේ සම්බන්ධව 2008 විගණන වාර්තාවෙන්ද අංක එස්. සී/ඊ/ආර් සී. එෆ්/2008/34 හා 2009/03/31 දින විගණන විමසුම් වලින්ද විමසා තිබේ.
2009 මාර්තු 31දින අවසන් වර්ෂය සඳහා ඊ සර්විසස් ලංකා සමාගමේ ශුද්ධ අලාභය රුපියල් 56,306,509ක් වන අතර එය අදාළ වර්ෂයට කොටසක අලාභය රුපියල් 2.60කි. කොටස් ප්‍රාග්ධනය රුපියල් 291,525,000ක් වූ මෙම සමාගෙම් සමුච්චිත අලාභය රුපියල් 437,828,339කි. මෙම සමාගමේ සමාගම් අරමුදලින් ආයෝජනය කර ඇති මුදල රුපියල් 90,275,000ක් වන අතර එම මුදලට මෙතෙක් කිසිදු ලාභාංශයක් ලැබී නොමැත. සමාගමේ ජංගම වත්කම් ඉක්මවූ ජංගම වගකීම් ප්‍රමාණය රුපියල් 141,039,470ක් වන අතර මුළු වත්කම් ඉක්මවා ඇති මුළු වගකීම් ප්‍රමාණය රුපියල් 146,303,339කි. වාණිජ බැංකුවලින් ලබාගෙන ඇති බැංකු ණය නිසියාකාරව ගෙවීමට අසමත් වී ඇති අතර මේ නිසා සමාගමේ දිගින් දිගටම පැවැත්ම සම්බන්ධයෙන් විගණනයට සැක මතුවී තිබේ.
ඒ අනුව සමාගම් අරමුදලින් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජනය කර ඇති රුපියල් කෝටි නවයක මුදල ඵලදායි නොවන ආයෝජනයක් බවත් ඊ සර්විසස් හරහා මෙම මුදල යෙදවූයේ කුමන කර්තව්‍යයක් සඳහා ද යන්නත් රාජ්‍ය විගණනය 2009 වසරේ 07/09 වැනි සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් වෙත යැවූ විගණන විමසුමට කිසිදු පිළිතුරක්ද ලබාදී නොමැත.
2015 වනවිට කෝටි 9 මූල්‍ය පාඩුව රුපියල් කෝටි පනහක් දක්වා ඉහළ ගොස් තිබේ.
රාජ්‍ය විගණනය විසින් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇති පරිදි ඊ සර්විසස් ලංකා සමාගම 2002 වර්ෂයේ ස්ථාපිත කර ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාමේදී හුවමාරු වන ලිපි ලේඛන ඉලෙක්ට්‍රොනිකව හුවමාරු කිරීම සඳහා පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශයේ ඒකාබද්ධ සමාගමක් ආරම්භ කර මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම තුළින් දේශීය ආර්ථිකයට වැඩි ප්‍රතිලාභ ලබාගැනීම වෙයි.
ඊ සර්විසස් සමාගම එම අරමුණ මත පිහිටුවනු ලැබුවත් එම කර්තව්‍යය කිසිසේත් ඉටු නොවී එම සමාගමට යොදවන ලද සියලු මුදල් අභිරහස් ලෙස යෙදවූ කර්තව්‍ය කුමක්දැයි යන්න සම්බන්ධව සැක පහළ වී තිබේ.
රාජ්‍ය විගණනය පෙන්වා දෙන පරිදි එවකට වෙළඳ අලෙවි සංවර්ධන හා පාරිභෝගික සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අංක ටී. එම්. සී. ජී 2007/04/ සහ 2007 මාර්තු 01 දිනැති අමාත්‍ය මණ්ඩල සන්දේශ අනුව මෙම කොටස් මිලදී ගැනීම මඟින් රජය වෙනුවෙන් එම අමාත්‍යාංශය එම සමාගමේ ප්‍රබල කොටස් හිමිකමක් අත්පත් කරගනු ලැබ ඇත. තවද එම සමාගමේ පාලන බලය ද රජය විසින් නතු කරගෙන ඇත. එහෙත් ඊ සර්විසස් සමාගමේ කොටස්වලින් රජය සතුව තිබුණේ සියයට 42කි. මේ සම්බන්ධව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන ලිපි ගොනුව අනුව 2010 ජනවාරි 15 දිනට අමාත්‍ය මණ්ඩලය පත්කර තිබුණි.
රාජ්‍ය මුදල් හෙවත් මහජනතාවගේ මුදල් කෝටි ගණනක් මේ ආකාරයෙන් විනාශ කිරීම සම්බන්ධව පසුගිය රජය සමයේ රාජ්‍ය විගණනය විසින් එවන ලද විගණන විමසුම්වලට පිළිතුරු නොදි මගහැරීම තුළින් එම ආයතන ප්‍රධානීන්ට පිළිතුරු දිය නොහැකි යමකට මුදල් යොදවන්නට ඇතැයි රාජ්‍ය විගණනය සැක පළ කරයි.

0 Comments