ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා තේරී පත්විය.
මීගමුව ආවේ මරියා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති එල්ලේ සම්මේලනයේ නිලවරණයේදී සහන් ප්‍රදීප් මහතා නිතරගයෙන් තේරී පත්වූයේ සභාපති ධුරයට නාම යෝජනා ඉදිරිපත්කර තිබූ හිටපු සභාපති සරත් කුමාර ගුණරත්න මහතා සහභාගී නොවීම හේතුවෙනි.
මහ සභාවට ලිපියක් යොමු කරමින් ගුණරත්න මහතා සඳහන් කර ඇත්තේ තමන් නිලවරණයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් පත්වන නව නිල මඩුල්ලට සුභ පැතුම් පිරිනමන බවත්ය.
මේ අතර වැඩි ඡන්ද 30කින් ප්‍රධාන ලේකම් තනතුරට සිරිල් පෙරේරා මහතා පත්විය. පෙරේරා මහතා ඡන්ද 39ක් ලබාගත් අතර එම තනතුරට තරග වැදුණු වජිර ඉන්දික මහතා ලබාගත්තේ ඡන්ද 9ක් පමණි.
රෝහිත දේවපුර, තිලකානන්ද පෙරේරා සහ විපුල සිරි සිල්වා යන මහත්වරුද උප ලේකම් ධුරට තරග වැදුණි.
පෙරේරා මහතා මින් පෙර එල්ලේ සම්මේලනයේ ප්‍රධාන තනතුරු 3ම දරමින් කටයුතු කළ අත්දැකීම් බහුල අයෙකු වීම විශේෂත්වයකි.
ඩබ්. ලයනල් ජෝතිරත්න (43), ධර්මදාස මීගොඩ (36) හා රොයිස්ටන් බෙන්ජමින් (30) උප සභාපතිවරු ලෙස පත්වූ අතර එම ධුරයට තරග කළ කරුණාරත්න පෙරේරා හා සෙබස්තියන් පෙරේරා මහත්වරු පරාජයට පත්වූහ.
චාමර සේරසිංහ මහතා සංවිධායක ධුරයට නිතරගයෙන් තේරී පත්වුයේ ඊට නාමයෝජනා ඉදිරිපත් කර තිබූ අජිත් සිල්වා මහතා එය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.
මේ නිලවරණය මීට මාස හයකට පෙර පැවැත්වීමට කටයුතු යොදා තිබුණද, නිමාවට පත්වූ නිල කාලයේ විගණන වාර්තා විගණනය කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් නිලවරණය කල් දැමුණි. මෙවර නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කර නොතිබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති, භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික තනතුරු සඳහා පත්කිරීම් ඉදිරියේදී පැවැත්වෙන විශේෂ මහ සභාවක් මගින් සිදු කෙරෙනු ඇත.
ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නව නිල මඩුල්ල මෙසේය.
සභාපති - සහන් ප්‍රදීප් විතාන මහතා, ප්‍රධාන ලේකම් - සිරිල් පෙරේරා මහතා, උප සභාපතිවරු - ලයනල් ජෝතිරත්න, ධර්මදාස මීගොඩ, රොයිස්ටන් බෙන්ජමින්, උප ලේකම්වරු - කමල් පෙරේරා, සුදත් ධම්මික, නිමල් චන්ද්‍රසිරි, සංවිධායක - චාමර සේරසිංහ මහතා.
0 Comments