ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරු තනතුරට විදෙස් පුහුණුකරුවන් 8කගෙන් අයැදුම්පත් ලැබී ඇති අතර ජනවාරි මාසයේදී නව පුහුණුකරු තෝරා අවසන් කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සූදානමින් සිටියි. ජාතික වොලිබෝල් පුහුණුකරු තනතුරට කොරියාව, චීනය, පින්ලන්තය, බ්‍රසීලය හා ඉන්දියාව වැනි රටවල පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් ලැබී ඇති අතර සම්මුඛ පරීක්ෂණයක් මගින් සුදුසු පුද්ගලයෙකු තෝරා ගැනීම සිදු කෙරේ.
ලබන වසරේ ජූලි මාසයේ ඉරානයේ පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතාවලිය හා නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කොට නව පුහුණුකරු ජනවාරි මාසයේ සිට වැඩ ආරම්භ කළ යුතුව ඇත. හිටපු සර්බියානු පුහුණුකරු ඩේජෑන් වුල්සෙවික් මහතාට නවාතැන් හා ප්‍රවාහන දීමනාවට අමතරව මසකට අමෙරිකානු ඩොලර් 3500ක මුදලක් වැටුප් වශයෙන් ගෙවූ අතර මේ නව පුහුණුකරුගේ මාසික දීමනාව ක්‍රීඩා අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට තීරණය කරන බව වොලිබෝල් සම්මේලනයේ ලේකම් නාලක ශාන්තසිරි මහතා පැවැසීය.
කොළඹදී නිමාවට පත්වූ ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරාජයවීම සර්බියානු ජාතික පුහුණුකරුගේ අත්තනොමතික ක්‍රියා කළාපය හේතුවෙන් සිදුවූවක් බව පංච පුද්ගල කමිටු වාර්තාවකින් හෙළිවූ අතර, ඒ සමගම සර්බියානු ජාතික ඩේජෑන් වුල්සෙවික් මහතා පුහුණුකරු තනතුරෙන් ඉවත් තිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කළේය.
ජාත්‍යන්තර තරග රැසක් ක්‍රීඩා කර තිබූ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් සෞදි අරාබියාවට එරෙහි තරගයේදී නොයෙදවීම, සහය පුහුණුකරුවන් සමග හෝ කළමනාකරු සමග සාකච්ඡා කොට තීරණ නොගැනීම, සර්බියානු පුහුණුකරුට එල්ලවූ චෝදනා වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යෙදවීම මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර, ඒ පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා පංච පුද්ගල විමර්ශන කමිටුවක් පත් කළේය. එහි සභාපති ලෙස ප්‍රියන්ත ජයකොඩි මහතා කටයුතු කළ අතර ලේකම් සුසිල් රණසිංහ හා කමිටු සාමාජිකයන් ලෙස සී. කේ. රත්නමුදලි, රංජිත් ප්‍රේමරත්න හා ධනපාල ජයපත්ම යන මහත්වරු කටයුතු කළහ.
0 Comments